Aug 20, 2011

හමුවුණා...අනේ හමුවුණා...7 වැනි කොටස

පසුගිය කොටස්  1  2  3  4  5  6
*******************************************************
ජංගම දුරකතනය අතට වගේම හිතටත් එච්චරටම ලංවුණු කාලයක් තිබුණේ නැති තරම්. ජංගම දුරකතනේ මිලට ගත්තු මුල්ම දවස්වලවත් මම එච්චරටම ඒකට ආසාවෙන්නේ නැතුව ඇති දැන් තරම්. ඉරූ ගේ කෙටි පණිවුඩයක් කියවන වාරයක් වාරයක් ගාණේ කියාගන්න බැරි ආදරයක් හිතේ දගලනවා. 

   තත්තපරයක් තත්පරයක් ගානේ ඉරූ හිත මගෙන් උදුරගනිද්දි මම හරි අසරණ විදියට තනියම බලන් ඉන්නවා. ඒත් ඒක වැඩි කාලෙකට නෙවෙයි. 
හැමදෙයක් අතරින් කාලයත් ඔහේ ඉදිරියට යනවා. නිසල්ගේ කමිනියුකේෂන් එක විවෘත කරන දිනෙත් ලග ලග එනවා. දුල්මිණි නංගිත් නිසල් එක්ක හරි හරියට මහන්සිවෙලා ඒකේ වැඩ. මටත් පුළු පුළුවන් විදියට ඒකට උදව් කලා. දවසක් මමයි නිසලුයි එකට ඉන්න වෙලාවක මම නිසල්ගෙන් දෙයක් ඇහුවා.

...මචං මම කඩේ ඕපනින්ග් එක ඉරුදිකාට කියන්නද?...

...අදහසනම් සිරා මචං...හැබැයි තුඩාවේ කුමාරි උපුල්වන් පුරේට වැඩම කරයිද?....

...ඒකත් ඇත්ත..ඒත් මම කියලා බලන්නම්..දුල්මිණිත් ඉන්න නිසා කෙල්ල ඒවි...

...එහෙම වෙනවනම් රත්තරං බං..එතකොට ඒ වැඩෙත් දෙවුන්දරදිම පූට්ටු වෙයිනේ...

...පූට්ටු වෙන්න තෝ හිතුවද අපි වයරින් කරන්න යනවා කියලා...

...නෑ වයරින් නොකරට උඹ මේ ටිකේ ඉන්නෙනම් එහෙමයි.....

සුහද මිතුරු විහිලු තහලු මැද මට හි‍තුනු දේ මම නිසල්ට කිව්වා. ඇත්තටම ඉරූ එදාට ආවොත් මට තවත් ලං වෙන්න පුළුවන් වෙයි. ඉරූ ඒවිද එදාට.

*****************************************************

උදේම නැගිටපු ඉරුදිකා ගේ දොර අස්පස් කරලා ටිකක් වාඩිවෙලා හිටියා. ඇගට හරිම මහන්සියි. ඒත් තව වැඩ ටිකක් තියනවා. ඉරුදිකා හරි ආසයි ගෙදර පිලිවලට තියාගන්න. අම්ම කොතරම් ඒකට එක එක ඒවා කලත් ඉරූ කැමතියි ඒ හැමදේම තමන්ගේ අතින්ම කරන්න.

  ඉරූගේ තාත්තා නැතිවුණත් හැමදේම පුළුවන් විදියට කරන්න ලැබුණේ අම්මගෙයි අයියගෙයි හයිය නිසයි.පවුලේ බර කරට ගත්තේ අම්මයි අයියයි ඉරූට කිසිම අඩුවක් කලේ නෑ. අම්මා පුළුවන් හැම විදියටම මහන්සිවෙලා පවුලේ බර තමන්ගේ කරට ගත්තා. අයියට රැකියාවක් ලැබුණම ගොඩක් ඒ බර හෑල්ලු වුනා. ධනංජය අයියා තමන්ගේ පවුලට දෙන මහා හයිය නිසා ඉරූ ගොඩක්ම අයියට ආදරේ කලා. තමන්ගේ කිසිම දෙයක් ගැන නොහිත ඔහු පවුලේ දේවල් කලා..

 ඉරූ විඩාව පැත්තකින් තියලා ආයෙත් අස්පස් කරන වැඩ පටන් ගත්තා. එතකොටම ජංගම දුරකතනය නාදවුනා. ඉරූ බැලුවා අංකය...සදීප..කෙටි පණිවුඩ එවනව මිසක් නිතර කතානොකරන නිසා ඇය පුදුමෙන් වගේ දුරකතනයට ප්‍රතිචාර දැක්වුවා.

...හෙලෝ...

...හෙලෝ නංගා..මම සදීප අයියා..බිසී ද?...

..නෑ අයියා කියන්න..හදිස්සියක්වත්ද?...

..හදිස්සියක්නම් ගිනිනිවන බලකායට හරි පොලීසීයට හරි කියනවනේ...ඔයාට කියන්නේ නෑනේ...

සදිපගේ කතාවට ඉරූට හිනා ගියා. සදීප දැනගත්තා දැන් ඉරූගේ මූඩ් එක හරි කියලා..

...නංගා පොඩි ආරාධනාවක් කරන්න කතා කලේ...

...මොකක්ද අයියා?...

..එනවද කියන්න කෝ...

...ඉතිං ආරාධනාව කියන්නේ නැතුව එහෙම කියන්න පුළුවන්ද...

...අම්මපා ඇත්තනේ...මගේ පුංචි මොලේට ඕක මතක් වුනේ නෑ...

ආයෙත් කෙල්ලට හිකිස් ගාලා හිනා ගියා. මේ අයියා නම් පිස්සු කෝච්චියක් ඉරූට හිතුනා.

...නංගා අර දුල්මිණි නංගි වැඩට ගත්තේ...මගේ යාළුවා නිසල්ගේ කමිනියුකේෂන් එක 25 වෙනිදා පටන් ගන්නවා..ඉතිං ඔයාටත් ආරාධනා කරන්න කියලා නිසල් කිව්වා...

ඉරූට මොනවා කියන්නද කියා හිතාගන්නට බැරිවිය.

...මම මොනාටද අයියා එතනට....

...ඇයි ඔයා කොච්චර උදව්වක්ද කලේ..වැඩ කරන්න හොද ගුණ යහපත් නංගියෙක් හොයලා දුන්නා.ඒක නිසා එදාට ඇවිත් කිරිබත් කෑල්ලක් කාලා යන්න...හැබැයි තෑගිනම් උස්සන් එන්න එපා හොදේ...

‍ඉරූ කල්පනා කලා කඩේ දාන්නේ කවුරුවත්, තමන්ට ආරාධනා කරන්නේ තවත් කවුරුවත්.ඒ මදිවට ගෙන්න ගන්නම හදනවා..මල සමයං...

....එනවනේද?...

නිහඩතාවය නිසා සදීප ඇහුවා.

...බලමු...

සදීප දැනගත්තා කෙල්ල එනවා කියලා. ඉතිං විස්තර ටික කියලා සදීප ඉක්මණට කට් කලේ කෙල්ල බෑ කියයි කියන බයට.

************************************************

හා හා පුරා කියලා තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න මොහොතේ නිසල්ගේ මූණේ අපූරු හිනාවක් තිබුණා. මගේ මූණෙත් ලස්සන හිනාවක් තිබුණා..ඔව් ඉරූ එයි කියන සතුටට.

  කඩේ ඕපන් එකට හිටියේ මමයි,දුල්මිණි නංගියි, නිසලුයි එයාගේ පවුලේ කට්ටියයි විතරයි. බොහොම චාමෙට කටයුතු සූදානම් කලා. මමයි නිසලුයි පාන්දරින්ම පන්සලට ගිහින් ඒ ගමන් දේවාලෙටත් ගිහින් ආවා. පන්සලින් ගෙනාපු පිරිත් පැන් ටිකක් එහෙම ඉහලා වැඩේ පටන් ගත්තා.

....සේරම හරි නේද මචං...

නිසල් හැමදේම අහන්නේ මගෙන්. මම වැඩ රාජකාරි හැම එකක්ම අස්සේ ඉරූගේ පැමිණීම බලන් හිටියා.

නැකත් වෙලාවට කිරි උතුරවලා සංජීව කමිනියුකේෂන් එක පටන් ගත්තා. හැමදෙනාගෙම මූණුවල ලස්සන හිනාවක් තිබුණා. කට්ටියම කිරිබත් රසකැවිලි රස විදලා සතුටු වුණා. මම පාර පැත්ත බලාගෙනම හිටියේ ඉරූ එයි කියලා. ටිකක් පරක්කු වෙනකොට හිත බය වුනා.

  එයා එන එකක් නැද්ද? එහෙම් හිතනකොටම ඒ හිතේ ඇදුනු ලස්සනම් රූපේ දෙවුන්දර ප්‍රාදේශිය සභාව ඉස්සරහ හෝල්ට් එක ගාවින් මතුවුනා. බොහොම චාම් තැනට ගැලපෙන සරල ඇදුමක් ඇදගෙන. අතින් කොණ්ඩ කැරළි හද හද එන ඉරූ දැක්කම හිතේ තිබුණු ආද‍රේ හිතින් පැනලා දූවලා ගිහින් ඉරූව බදාගත්තා.

  මම නිසල්ට කතා කරලා කෙල්ල පෙන්නුවා.

..මේ උඹේ තුඩාවේ කුමාරිද?...ෂා පිස්සු පීකුදුනේ...අනේ මචං සිරාමයි...මගේ උණුසුම් සුභ පැතුම් උඹට...

නිසල් කියවගෙන යද්දි ඉරූ කඩවල බෝඩ් ලෑලි බල බල නියම තැනට ආවා. මම කඩෙන් එලියට ගිහින් ඉරූ පිළිගත්තා. මම දැක්කා විතරයි කෙල්ලගේ මූණේ අමුතු ලැජ්ජාවක් මතුවුනා..ඒත් කෙල්ලගේ මූණ ලෙඩපාටයි..ඇදිලා ගිහින් වගේ...ගමන් මහන්සියට වෙන්න ඇති.

....එහෙනම් ඔයා ආවා නේද?...තෑන්ක්ස් හොදේ...

...මම ආවේ අලුත් කමිනියුකේෂන් එකට....

කෙල්ල එහෙම්ම ඇතුලට යද්දි නිසල් පිලිගත්තා. පස්සේ දුල්මිණි ඇවිත් ඉරූ එක්ක එකතුවුනා. මුලින් කසු කුසුවක් ගියා මේ කව්ද මේ දැරිවි කියලා. පස්සේ නිසල් ඒක ෂේප් කලා.

තමන්ගේ තැනක් වගේ බොහොම ආසාවෙන් කිරිබත් කාලා ඉරූ තමන්ගේ සුභ පැතුම් අලුත් ව්‍යාපාරෙට පුදකලා. ගොඩක් වෙලා එහෙම ඉන්න ආසවුනත් කාල‍ය ටිකෙන් ටික පියාඹලා ගියා.

යන්න හදද්දි ඉරූ නිසල් ලගට ගිහින් පුංචියට ලස්සනට නවපු ලියුම් කවරයක් නිසල්ගේ අතේ තිබ්බා.

...අනේ පිස්සුද නංගි..මේ මොනවද,?...

...සුළු තෑග්ගක් අයියා..ගත්තේ නැත්නම් මම තරහයි...

නිසල් බෑ කියමින් ප්‍රතික්ෂේප කරද්දි හැමෝම හිනාවෙමින් හිටියා. පස්සේ ඉතින් කෙල්‍ල මගේ මූණ බල බල නිසල්ට බල කරද්දි මම නිසල්ට කිව්වා ගනින් කියලා.

ඉරූ සතුටින් දීපු දේ නිසල් බාරගත්තා. ඉරුදිකා හැමෝගෙන්ම සමු අරන් ගෙදර යන්න හදද්දි හැමෝගෙම හිත් කෙල්ල දිනාගෙන තිබුණා. අන්තිමට ආවේ මගේ ලගට.

...මම යන්නම් අයියා...

...ඉන්න මාත් දැන් ටවුන් යනවා...

...අනේ නෑ අයියා මම බස් එකේ යන්නම්...

මට ටිකක් තරහත් ගියා. ඒ මොකුත් නිසා නෙවෙයි මේ රත්තරන් අවස්තාව අහිමිවෙයි කියලා.

...කිව්ව නේද මාත් එක්ක යං කියලා...මම ටවුන් එකෙන් බස්සනවා..වෙන කොහේවත් එක්ක යන්නේ නෑ...

මම කියපු විදියට කෙල්ල මෙල්ල වුනා. අහිංසක මූණ බයවෙලා වගේ මගේ දිහා බලද්දි හිතට මහා දුකක් දැනුනා. මම කට්ටියටම කියලා වාහනේ ලගට යද්දි නිසලයා ඇවිත් පිටට තට්ටු කරලා ගුඩ් ලක් කිව්වා.

හෙමි හෙමින් ආපු ඉරූත් වා‍හනේට ‍නැ‍ග්ගේ බයෙන් වගේ. ඉරූ නැග්ග විතරයි ඇල්ටෝ පොඩ්ඩ පිරිලා ඉතිරිලා ගියා වගේ සතුටක් දැනුනා. වා‍හනේ ස්ටාට් කලේ ඒ හැගුම මැද්දෙන්මයි..



8 comments:

  1. වාහෙනට නැග්ගා කියන්නෙ වැඩේ ගොඩ :P

    ReplyDelete
  2. අනේ මංදා ඇල්ටො.

    @බනී
    එහෙමමත් නෑ බං :(

    ReplyDelete
  3. එක හුස්මට මග ඇරුණු කොටස් 6ම කියෙව්වා බොහොම ආසාවෙන්...
    වැඩේ ගොඩ දා ගන්න සදීපට තව බලන් ඉන්න වෙයි වගේ....

    ReplyDelete
  4. බොහොම ස්තූතියි යාළුවනේ..පුළුවන් ඉක්මණට ඊලග කොටසත් පලකරනවා...

    ReplyDelete
  5. ඊලග කොටස ඉක්මනට ඕනේ......

    ReplyDelete
  6. එහෙනම් දේව්දාස් නුත් ඔය පොඩි පොඩි වැඩවලට එන්නම්කෝ ඔය කොමිනිකේෂන් එකට... මොකද දේව් ඉන්නෙත් ඔය ළඟ පාතම තමයි...

    දේව්දාස්...

    ReplyDelete
  7. සතුටුය... නමුදු මට මේ අස්සේම ට්‍රැජඩියක සේයා ද පෙනේ...!

    ReplyDelete