***********************************************************************
උදේ පාන්දර හිත දැඩි කරගත්තේ ජීවිතේ ගන්න වැදගත්ම වගේම තීරණාත්මකම තීරණයට මුහුණ දෙන්න. ඇල්ටො පොඩ්ඩට ගොඩවුණාම ඇල්ටෝ පොඩ්ඩත් ටිකක් විතර අදිමදි කරනවා වගේ දැනුනේ හිතේ බයටමද මංදා. ඒත් මාතර බෝධිය ගාවින් බැහැලා පඬුරක් දාලා වඳින්න අත්දෙක එකතු කරද්දි හිතට ලොකු හයියක් ලැබුණා වගේ දැනුණා. හක්මණ පාර දිගේ වාහනය ටික ටික ඉස්සරහට යද්දි ඉරුදිකාගේ දුරකතනයට ඇමතුවත් පුරුදු විදියටම දින කීපයක් පටන්ම ක්‍රියා කලේ නෑ. කමක් නෑ ඉරූ මම කරන්න යන්නේ වැරදි දෙයක් නෙවෙයි. ඔයා වෙනුවෙන් වගේම මම වෙනුවෙනුත් කරන දෙයක්, ඒක නිසා මම මේ දේ කරනවමයි ඉරූ.
තුඩාව හංදියෙන් හරස් පාරට වාහනය හරවද්දි හිතේ ගැස්ම පිස්ටන් එකේ චලනයටත් එහා ගිහින් තිබුණා. එදා ඉරුදිකා ගේට්ටුවෙන් ඇතුලු වුණු ගෙදර හොයාගන්න අමාරුවක් නෑ. වාහනේ ගේට්ටුව ලග නතර කරලා හිමින් ගේට්ටුව ඇරගෙන යද්දි කකුල් දෙක ගැහුණේ ජීවිතේ පලවෙනි වතාවට මේ වගේ දෙයක් කරන්න යන නිසා වෙන්න ඇති. හිතන්න තරම් වාතාවරණයක් හිතේ තිබුණේ නෑ.
ලස්සනට නිමකරලා තිබුණු මිදුල, මල්පැල, බංකුව හැමදේම කියලා දුන්නේ ඉරූගේ අත්දෙකේ ආඩම්බරකමයි හිතේ පිළිවෙලයි. මිදුලේ පැත්තකින් ඇදලා තිබුණු රෙදි වැලේ තිබුණු ඉරූගේ ඇඳුම් කීපයකින් මේ ඉරූගේ ගෙදරමයි කියලා සනාථ කලා. පුංචි පුනත් හරි පිලිවෙලට හදලා තිබුණු මිදුලත් හොඳ පිලිවෙලට නිමකරපු ගේ පොඩ්ඩත් නිසා හරි සිරියාවන්ත පෙනුමක් හිතේ ඇඳුනා. ගෙදර දොර ලඟම තිබුණු බෙල් එක නාද කරද්දි ඉවසගන්න බැරි විදියට හිත ගැහුනේ ඉරූ ඇවිත් දොර ඇරියොත් මුහුණ දෙන්න වෙන තත්වය මතක් වෙලා. දෙපාරක් බෙල් එක නාද කරද්දි දොර කර..කරාස් සද්දෙත් එක්ක හිතේ බාගයක් ඉරාගෙන වගේ ඇරුණා. දොර ළඟ හිටියේ සාමාන්‍ය ගෙදරට අදින ඇඳුමකින් සැරසුණ මැදිවියේ කාන්තාවක්. නමුත් ඇයට ඉරූගේ පෙනුම තිබුණේ නෑ..
...මේ..මේ...ඉරු..ඉරුදිකාගේ අම්මද?..
ගොත ගැහෙමින් උනත් අමාරුවෙන් අහගන්න වුවමනා දේ ඇහුවා. මම දිහා ටිකක් සැකෙන් වගේ බලපු ඇය දොර සම්පූර්ණයෙන්ම වගේ ඇරියා.
...මේ දරුවා කව්ද?...ඔව් මේ එහේ තමයි...
විමසිල්ලෙන් වැඩිය මිත්‍රශීලී නොමැති විලාශයකින් ඇය මගෙන් ප්‍රශ්න කලා.
...අම්මේ මම සදීප..මට පොඩ්ඩක් අම්මා එක්ක කතා කරන්න පුළුවන්ද?..
හිතේ උපරිම ධෛර්ය භාවිතාවෙන් කියපු ඒ වචන ටිකේ අම්මා කියන නම ගැබ්ව තිබුණු නිසාද කොහේද ඇයට බෑ කියන්න බැරිවුණා. ඒත් ටික වෙලාවක් කල්පනා කරපු ඇය මට ඇතුලට ආරාධනා කලා.
...එන්න දරුවෝ ඇතුලට...වාඩිවෙන්න..මම ඉරුදිකාගේ අම්මා..
මම සාලේ සෝපාවෙන් වාඩිවුණා. හරි චාම් විදියට වැඩි විච්චූරණ නැතුව ගෙදර බඩු මුට්ටු සැරසිලි හැමදෙයින්ම අලංකාරය එක්කරලා තිබුණා. ඒත් ඉරූ පේන්න හිටියේ නෑ. ඉරූගෙම පෙනුම තියන ඉරූගේ තාත්තා කියන්න පුළුවන් කෙනෙක්ගේ ඡායාරූපයකට සුදු මල්මාලයක් දාලා සාලේ එල්ලලා තිබුණා.
..මොනවද පුතාට මාත් එක්ක කතා කරන්න ඕන..
නිම කරමින් තිබූ මැහුමක් තිබූ පුටුවක් අසලම වාඩිවෙමින් ඉරූගේ අම්මා මගෙන් ඇහුවා.
....අම්මා..මම ඉරුදිකාව අඳුනගෙන ටික කලක් වෙනවා..මගේ හිතේ ඉරූ ගැන බලාපොරොත්තුවක් තියෙනවා..ඒත් ඒක රහසින් කරන්න මම කැමති නෑ..මට අම්මලගේ ආශිර්වාදයත් ඕන..මම ඉරූව බඳින්න කැමතියි අම්මා.
මම කියපු ඒ වචන ටිකට ඇය ඇස්දෙක නලලේ තියන් වගේ මගේ දිහා බැලුවා. ඒ බැල්මෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙයිද යන්න මගේ හිතේ ගැටළුවක් ඇති කලා. අන්තිමට ඇය හඬ අවදි කලා.
...ඔය දරුවා ආවේ ඉරුදිකා ගැන මඟුල් කතා කරන්නනම් කරුණාකරලා දැන් මෙතනින් යන්න...ඔය දරුවා වෙන වැදගත් දෙයක් කතාකරන්න ආවා කියලා හිතලයි මම කතාකරන්න ඉඩ දුන්නේ ඒත්..ඔය දරුවා කියපු දේවල් කියලා ඉවරනම් දැන් යන්න..
ඇය හරිම අකාරුණික විදියට මම ගැන කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කියපු වචන් ටික නිසා හිත කියාගන්න බැරි තරම් අසරණ වුණා.ඇය අසුනින් නැගිට්ටේ සංවාදයේ සමාප්තිය සටහන් කරන්න වගේ
..ඇයි අම්මේ එහෙම කියන්නේ..මම එහෙම නරක කෙනෙක් නෙවෙයි..මට චුට්ටක් කතා කරන්න දෙන්න..මම මාතර කෙනෙක් අම්මේ..මම හොඳ ජොබ් එකක් කරනවා. ජීවිතේ හැමදෙයක්ම මම පිළිවෙලට හදාගෙන ඉවරයි..ඇයි අම්මේ මගේ ඉල්ලීම ටිකක් සලකලා බලන්නෙ වත් නැතුව මෙහෙම කරන්නේ..
හිතේ අසරණ කමටම කියවුනේ හරියට පොඩිකාලේ අම්මගෙන් ගුටි කෑවම හේතු කියවනවා වගේ. මගේ ස්වරයටද මන්දා ඇය ආයෙත් පුටුවේ වාඩි වුණා.
..දරුවෝ ඉරුදිකා ගැන බලාපොරොත්තු තියාගන්න එකෙන් ඔයාට වැඩක් වෙන්නේ නෑ. අපි ඒ දේවල් පිළිවෙලක් කරලා දීලා ඉවරයි..ඔය දරුවා අනික් දේවල් පිළිවෙලක් කරගත්තා වගේ වෙන මගුල් තුලාවක් පිලිවෙල කරගන්න...
ඇය තීරණාත්මක විදියට කිව්වා.
..අම්මේ ඉරුදිකා මට ආදරෙයි..එයා මට කැමතියි..මම ඒක දන්නවා..ඉතිං මට මෙහෙම කරන්න එපා..
ටිකක් කල්පනා කරපු ඇය මගෙන් ප්‍රශ්නයක් ඇහුවා.
...පුතා ඉරුදිකා දන්නේ කොහොමද..
..මට එයාව අහම්බෙන් මුණ ගැහුණේ..ඒත් අපි දෙන්නා දැන් හොඳට අඳුනනවා..
ඒත් ඇගේ ස්වරය වෙනස් වුනේ නෑ.
...කරුණාකරලා ඔය යෝජනාවත් අරං යන්න..මම කැමති නෑ ඔය දරුවා නාස්ති වෙනවට..
අන්තිම වචන ටික කියද්දි ඇයට ඇඩෙන්න ආවා..මට ඒ වචන ටික දෝංකාර දීලා ඇහුණා..මම ඇය ලගට ගියා.
..ඇයි අම්මේ එහෙම කියන්නේ..ඉරූ ලංවුණා කියලා මගේ ජීවිතේ විනාස වෙන්නේ නෑ..ඇයි මේ කියන්න..මොකක්ද ප්‍රශ්නේ අම්මේ...
ඒ වෙනකොට ඇයට හොඳටම ඇඬුම් ඇවිත් තිබුණා. ඒත් වචනයක්වත් කියාගන්න බැරිතරමට ඇය අසරණවෙලා..අන්තිමට ඇය මහ හඬින් අඩමින් දෙයක් කිව්වා..
..දරුවෝ ඉරූ කියන්නේ ලෙඩෙක්...ජීවිතේ ගැන බලාපොරොත්තු තියාගන්න බැරි තරම් ලෙඩෙක්..එහෙම පහුරක නැගලා ඔය දරුවා කොහොමද ජීවිත ගඟෙන් එගොඩ වෙන්නේ..
ඒ වචන ටික කිව්ව ගමන් මුළු ගෙදරම මගේ වටේ කැරකිලා යනවා දැණුනා. මට එච්චරවත් දෙයක් දැනුනා පුදුමයි.
*****************************************************
අසුනේ ඉඳගත්තු ඉරූගේ අම්මා මම මෙතෙක් දැනගෙන නොහිටපු කතාව කියන්න පටන් ගත්තා.
...පුතේ ඉරුදිකා කියන්නේ මගේ දෙවනි දරුවා..ධනංජය පුතාගේ නංගි..දරුවෝ දෙන්නම පොඩිකාලේ ඉඳන් හරි එකමුතුයි පිලිවෙලයි..හැමදේම කලේ එකටම වගේ. ඉරූ හොඳට ඉගනගත්තා. පොඩිකාලේ ඉඳලම සුජාතා එකේ හොඳ නමක් තියාගෙන ඉගන ගත්තා. ...
...චූටි දුව අපි හැමෝගෙම ආදරේ යට තමයි හැදුනේ..එයා ඒ ලෙවල් වලට බයෝ සයන්ස් තෝරගත්තේ එයාගෙම කැමැත්තට..අයියත් එයාට ගොඩක් උදව් කලා..දරුවා හොඳට පාඩම් වැඩ කලා පන්ති ගියා..වෙන කිසිම දෙයක් ගැන හිතුවේ නෑ..පුංචිවත් වරදක් අපි කාටවත් කලේ නෑ..ඒත් දවසක් එයාගෙම වයසේ දරුවෙකුත් එක්ක පුංචි වාදයක් ගිහිල්ලා ඒ ගෑණු දරුවා චූටි දුවට අභියෝග කරලා තිබුණා..ඒ තමයි පුළුවන්නම් බයෝ සයන්ස් වලින් මාතර දිස්ත්‍රික්කේ පලවෙනියා වෙන්න කියලා..චූටි දූත් ඒක බාරගෙන තිබුණේ තමන් ගැන විශ්වාසේ තියාගෙන..එදා ඉඳන් එයා පිස්සුවෙන් වගේ පාඩම් කලා..කන්නෙ බොන්නේ නැතුව..නිදිමරාගෙන වෙන කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව පාඩම් කලා..
...ඒත් හදිස්සියෙම දූ ලෙඩවුණා..අපි කව්රුත් ගොඩක් බයවුණා..විභාගේ ලග තියෙද්දි ඉරුදිකාට පිට් එක වගේ ආවා..දොස්තරලා බලලා කිව්වේ අධික විදියට මනස හා ඇඟ වෙහෙසකරපු නිසා කියලා..අවාසනාවකට මේ ලෙඩේ නිසා චූටි දුව ගොඩක් බලාපොරොත්තු තියන් වැඩකරපු ඒ ලෙවල් විභාගෙ ලියන්නත් බැරිවුණා..ඒකෙන් එයා තවත් කම්පනයට පත්වුණා..අපි හැමෝම එයාගෙ හිත හැදුවත් එයා කාත් එක්කවත් කතානොකර පැත්තකට වෙලා දුක්වින්දා...කරදර පිට කරදර ඇවිත් ඉරුදිකාගේ අප්පච්චිත් අපිව දාලා ගියේ දරුවා කබලෙන් ලිපට දාන්න වගේ..චූටි දුවගේ තාත්තා වැඩකලේ හමුදාවේ කර්නල් කෙනෙක් විදියට..පුනරින් වලදි බෝම්බයක් පුපුරලා මැරුණේ රට ජාතිය වෙනුවෙන්..ඒත් මගේ දරුව ඒක විඳගන්න පුළුවන් තත්වෙක හිටියෙ නෑ..තාත්තගේ හත් දවසෙ දානෙට පහුවෙනිදා චූටි දූට හොඳටම අමාරුවෙලා මාතර ඉස්පිරිතාලෙට ඇතුල් කලා..ගොඩක් අමාරුයි කියපු නිසා අන්තිමට කරාපිටියට එක්කගෙන ගියා..දවස් පහක් තිස්සේ දරුවා දැඩි සත්කාරෙ හිටියා..දරුවගේ ජීවිතේ බේරුනේ නූලෙන් වගේ..මානසික කම්පනය නිසා දරුවගේ ස්නායු වල මොකක්ද වෙනසක් වෙලා කියලා කිව්වා..දොස්තරලා කියපු දේවල් වලින් තේරුණා දරුවට ගොඩක් අමාරුයි කියලා..ඔපරේෂන් කරොත් දරුවගේ ජීවිතය නැතිවෙයි කිව්වා..දරුවට පාඩුවෙ ජීවත් වෙන්න දෙන්න කිව්වා පුතේ..කිසිම බරපතල දෙයක් හිතන්න, දුක්වෙන්න දෙන්න එපා කිව්වා.කරාපිටියෙන් ගෙදර එක්කගෙන ආවේ මලමිනියක් වගේ..ඒත් බෙහෙත් වලින් දරුව ටිකක් පණ ගහලා ආවා..පස්සේ ටික ටික වැඩ කරන්න පටන් ගත්තා..එහෙ මෙහෙ යන්න පුළුවන් කාලෙ ආවට පස්සේ ටවුන් එකට යාළුවන්ගේ ගෙවල්වල යන්න පටන් ගත්තා..දොස්තරලා කියපු දේවල් නිසා අපි වැලැක්කුවේ නෑ..
...ඒත් ඒ හැමදෙයක්ම අස්සේ එකම එක කෙනෙක් නොදැනීම චූටි දූට ලංවුණා..ඒ තමයි චරිත්..ගාල්ලෙ මහමෝදර දරුවෙක්..එයා ඉරූව බඳින්න කියලා අපෙන් ඇහුවා..ඒ වෙනකොට දෙන්නා ගොඩක් ලංවෙලා හිටියා..ඒත් අපි දොස්තරලගෙන් ඇහුවම කියපු දේට අපි කාටවත් මුකුත් හිතාගන්න බැරිවුණා..දොස්තරලා කිව්වා කසාද බැඳලා දරුවෙක් හදන්න වගේ ලොකු වගකීම් ගන්න චූටි දූට බැරිලු එහෙම වුනොත් එයාගේ ජිවිතේ කෙලවර ඒ වගේ දේකින්ම වෙන්න පුළුවන් කියලා..අපි හරි අසරණ වුණා..අපි චරිත් පුතාට හැමදේම තේරුම් කරලා දුන්නා..ඒත් එයා මේ හැමදෙයින්ම බයවුණා..එයා හිතන්න බැරි ඉක්මණින් චූටි දූගෙන් ඈත්වුනේ අපි තවත් අසරණ කරලා..චරිත් මගඅරිද්දි චූටි දූ එයාගේ ආදරේ හොයාගෙන ගියා..ඒත් චරිත් පුතා ඉරූගෙන් සම්පූර්ණ ඈත්වුණා..එදායින් පස්සේ ඉරූ ආයෙත් ලෙඩවුණා..දොස්තරලා අපිට නොසෑහෙන්න බැන්නා...ලෙඩවෙලා හිටිද්දිවත් චරිත් පුතා ආවෙ නෑ බලන්න..ඒ දරුවා සාධාරණයි..මම ඒකමයි ඔය දරුවටත් කියන්නේ මෙහෙම...මගේ දරුවට තව දුක්විඳින්නත් බෑ..එහෙම වුනොත් එයා මැරිලා යාවි..පහුගිය දවස්වල ආයෙත් බෙහෙත් බොන්න බෑ කියලා ලෙඩේ වැඩිවුණා..හවස හය හත පහුවෙද්දි ඔළුව බදාගෙන පිස්සුවෙන් වගේ කෑ ගහනවා..ඊට පස්සේ උදේ දහය විතර වෙනකන් නිදාගන්නවා..ඔය අදත් තාම නිදි..අනේ රත්තරන් පුතේ වැඳලා කියන්නම් මගේ දරුවගේ හිත කඩන්නේ නැතුව එයා ආයෙත් ලෙඩෙක් නොකර එයාටත් නොදැනෙන්න මේ දේ නවත්තන්න..මම දරුවට වඳින්නම්..
අම්මව වලක්වමින් මම නැගිට්ටා. මොනවා කරන්නද? මොනවා කියන්නදි හිතාගන්න බැරුව මම නැගිට්ටා.
..අනේ එපා අම්මේ..මට හැමදේම තේරෙනවා..මම යන්නම්..ඒත් චරිත් වගේ නෙවෙයි..මම ආයෙත් එනවා..එදාට මට දොර වහන්න එපා..
අවසිහියෙන් වගේ පාරට බැස්සේ කිසිම දෙයක් හිතාගන්න බැරුව.. වෙච්ච හැමදෙයක්ම හීනයක් වගේ.
*****************************************************
....මම දන්නවා මගේ පුතේ ඔයා වැරදි දෙයක් කරන්නේ නෑ කියලා..ඔයා කරන හැමදෙයක්ම හිතලා බලලා කරන්න..ඔයා හැමදේම මට කියපු එක හොඳයි හැමදාම වගේ..ඒ දරුවා ලෙඩෙක් කියලා නොදැන ලංවුණාට ඒ වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් දෙයක් තියනම් නොකර ඉන්න එපා...
ගෙදර ගිහින් අම්මා ලඟට වෙලා හැමදේම අකුරක් නෑ කිව්වම අම්මා කිව්වේ මගේ හිත හැදෙන්න දවස පුරාවට ඇහුණු එකම වචන ටික.
...ඔව් අම්මේ ඉරූ හරි හොඳයි කිසිම වරදක් නෑ..ඒකයි මම එහෙම කෙලින්ම ගිහින් ඇහුවේ..
..මම දන්නවා පුතා ඔයා නරක කෙනෙක්ට එහෙම ලංවෙන්නේ නෑ කියලා..ඒත් හැමදේම තව හිතන්න..දැන් අක්කා පිළිවෙලක් වෙලා නිසා එයා ගැන බලන්න දෙයක් නෑ..මගේ හිතේ බර ඔයා ගැන තමයි...
අම්මා කියපු ඒ කතාවෙන් මගේ වගකීම ගැන මට වැටහුණා. ඒත් ඉරූ කියන්නේ මගේ ජීවිතේ කොටසක් වෙලා ඉවරයි.
...ඒත් ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ ඉරූ මට ආදරේ කරලා වැඩියෙන් ඒක ගැන හිතුවත් ඒක එයාගේ ජීවිතේට අවදානම්..ඒ වගේම මම වෙන්වෙලා ඒක දරුණුවට දැනුනොත් ඒකත් ඉරූට අවදානම්..ඒකයි එයාලගේ අම්මා කැමති නැත්තේ...
ජීවිතේ හිතපු නැති පැත්තකට යන්න පටන් අරන්. ඒ ගලාගෙන යන ජීවිත ගඟ කොහේට යාවිද කියලා මටත් හිතාගන්න බෑ.
෴ 11 කොටස ෴
මම කිව්වේ ඉරූට අසනීපයක් කියලා...
ReplyDeleteසහෝ, කථාව නම් සරලවම කිව්වොත් පට්ට ඈ... ඇත්තටම නියමයි... කෙල්ලන්ට නම් කොහොමද මන්දා ? කොල්ලෝ වන අපිට නම් බොක්කටම වදිනවා...! සදීප + ඉරූ = කථාවේ අවසානය වේවිද ? නැත්නම් ???
ඔයා ලියන කල් අපි බලාන ඉන්නවා...! මොනවා වුනත් සදීප නියම කොල්ලා... +1
ස්තූතියි යාළුවා..අවසානය ලඟදීම සිද්ධ වේවි
ReplyDeleteඇහැට කඳුලක් එකතු උනා...
ReplyDeleteඇයි ඉකමනට කතාව ඉවර කරන්නේ...?
අෆ්ෆච්චියෙ..
ReplyDelete@දඩබ්බරී- එච්චරටම අප්සට්ද පවී කතාව.තෑන්ක්ස් හොදේ
ReplyDelete@බනියා - ඇයි බන්ස්?
හාස්කමකින් වත් හැමදේම හරියනව නම්.
ReplyDeleteහාස්කම් කියන ඒවා ජීවිතේදි වෙන්නේ බොහොම අඩුවෙන් පිණිබිදු
ReplyDeletehey, btw its too predicatable ne, typical හද උණුවෙන lover, and ඊට වඩා හද උණු වෙන girl eh?
ReplyDeletelooking forward to see a unpredicatable episode :)