Professional Type Settings Sinhala/English/Tamil via Internet Just For Rs.60/= Call now - 076-999 57 51

Dec 22, 2012

ලෝක විනාශ දිනය 2012.12.21 “ඇතැමෙක්“ ගතකල හැටි


ලෝක විනාසය ගැන මතිමතාන්තර එන්නට පටන් ගත්තේ අද ඊයක නොවේ. ඉස්සර වල්ගාතරුවක් දුටු සැණින් පෘතුවි වැසියෝ ලෝක විනාසයක් ලඟ එනබව පවසමින් පිස්සු නැටූ කාලයක් තිබුණි. නමුත් අපි අපේ ජීවිත කාලයේම වල්ගාතරු කීපයක් දුටුවෙමු. ඒත් ලෝකයට සිදුවුණ කෙංගෙඩියක් නැත. මෙවර ලෝක විනාශය ගැන කතාන්තරය මතුවෙන්නේ මායාවරුන්ගේ ශිලා දින දර්ශනය 2012.12.21 න් අවසන් වීම යන සාධකය කේන්ද්‍ර කරගෙනය. මීට වර්ෂ ගණනාවකට පෙර සිටම මේ ගැන කතා පොත්,සඟරා සටහන් සහ චිත්‍රපට පෙන්නා මිනිසුන්ගේ ඔලුව විකාර කර තිබුණි. කොතරම් ප්‍රබුද්ධ දෙසුම් දෙසුවත් බොහොමයක් දෙනෙක් මේ පසුවුණු ලෝක අවසාන  කතාවට බියවූ බව සහතිකය. ඒ අතරින් එදිනෙදා මට හමුවෙන සහ විස්තර දන්නා ඇතමෙක් ලෝක විනාසය සිදුවෙන බවට කටකතා පලවූ දිනය වූ පසුගිය 21 වැනිදා ගතකල විදිය සඳහන් කල යුතුමය.

   අපේ අසල්වැසි මුත්තා කෙනෙක් සිටියි. ඔහුට දැන් වයස 75 කටත් ලඟය. දැන් බරටම පින් කරන මුත්තා කෙනෙක්ය. මරුවා පෙනෙන විට පින් සොයා මෙලෝ සිහියක් නැතිව දුවන පුරුද්ද යෙහෙන් පුරුදු වූ කෙනෙකි. 


“ඇත්තද ළමයෝ මේ හෙට අද ලෝක විනාස වෙනවා කියන කතාව“

මුත්තා මගෙන් අසයි.

“කවුද දන්නේ සීයේ..ඔය එක එකාගේ පයිත්තියං“

මුත්තාට ටිකක් ඩෝං යයි. මම සතපහකට ගණන් නොගෙන පොර සේ කතා කිරීම මුත්තාගේ පෞර්ශයට හානියක් වන්නට ඇත.

“එහෙම කියන්න එපා ළමයෝ...කොහෙන්හරි මොකක්හරි උල්කාවක් පාත්වෙලා ඩෝං ගාලා එකපාරටම මේක විනාස වුනොත්...මමනං අද ගෙයින් එලියටවත් බහින්නේ නෑ...“

මට ඒක අසා දෙකොනෙන් හිනාය.

“ඉතිං හොඳයිනේ සීයේ...ජීවිතේ එහෙම එකපාරම ඉවරවෙලා යනවනං සංසාරේ තව කෙටි වෙනවනේ...ඉතිං සීයා ඔය ලවක් දෙවක් නැතුව පිං කරන්නෙත් ඒකටනේ...“

මම කණ හරහා දුන් හින්ට් පාරට සීයාගේ කණ් රත්විය.

“ඒ උනාට එකපාරට එහෙම මැරිලා යන්න පුළුවන්ද...තව කොච්චර වැඩ තියනවද කරගන්න...අනික පිං කරගත්තත් මදි...“

                                * * * * * * * * * * * * *

බුකියේම දවස ගෙවන කොළුවෙක් උදේම අවදිවිය. දවස 21 ය. කුණු කෙල පිටින්ම ලැප්ටොප් රාජයා උකුලට ගෙන ඇස් දෙකත් බාගෙට පියාගෙන බුකියට ලොග් විය.

.... අනේ අද ලෝක විනාසය නේද....

මොකෙක්දෝ යාළුවෙක් දාපු ස්ටේටස් එකක් දැක්ක ගමන් කොළුවාගේ දෙකොණ රත්විය. 

“හත්තිලව්වයි....අද 21 නේද...ලෝක විනාසේ....අම්මේ...අම්මේ...“

කුස්සියේ උය උය හිටපු අම්මා තෙල් හැන්දත් අතේ අරන් දුවන් ආවේ ගෙට සර්පයෙක් රිංගලා කියලා හිතලා.

“ඇයි ඇයි පොඩි පුතේ“

“අනේ අම්මේ...අද ලෝක විනාසේ...අපි සේරටම බඩු හම්බවෙයිද අම්මේ...“

අම්මාට එකසිය ගාණට තදවිය. තෙල් හැන්දෙන් දෙකක් දෙන්නට සිත්විය.

“මොන කෙහෙල්මලක්ද...මම බයවේච තරමක්..දවසෙම කාමරේට රිංගගෙන ඔය ලැට්ටොප් මගුලේ ඔලුව ඔබාගෙන මනස්ගාත බලනවා...දැන් එ ්වා ඔලුවට අරගෙන විකාර කියනවා...ඔහොම කාලේ කාලා කාලකණ්ණියෙක් වුනොත් අන්න එදාට තමයි ලෝකේ විනාස වෙන්නේ කියලා හිතා ගණින්...මීමා...“

කොළුවාගේ මූණ උල්කාපාතයක් මෙන් ඇදවිය.

                               * * * * * * * * * * *

කලක් සුප්‍රසිද්ධ බ්ලොග් කාරියක්ව සිට දැන් හුරතලේ පාඩුවේ ගෙදරට වී සිටින තැනැත්තියක් උදෑසන අවදිවී කැලැන්ඩරය දකින විට මතක්වුනේ ලෝක විනාසයයි. තුරුල් කරගෙන සිටි ටෙඩිබෙයා විසිකර දමා රාත්‍රී නිදන ඇඳුම පිටින්ම කාමරය පුරා එහෙ මෙහෙ ඇවිදින්නට විය.

“දෙයියනේ...මම කොහොමද අද ලෝක විනාසෙන් ගැලවෙන්නේ“

හිතමින් කාමරය පුරා ඇවිදින්නට විය. බයටම දාඩියද බේරෙන්නට විය. 

“ඇඳ යට හිටියොත් අඩුම ගානේ යන්තං වත් මොනවාහරි බේරේවිනේ..“

දඩිබිඩි ගා ඇඳ යටට රිංගාගෙන ඔළුව කකුල් දෙක අස්සේ ගහගෙන මොකක්හෝ සද්දයක් ඇහෙනතෙක් බලාසිටියාය. සැනෙකින් යමක් මතක් වී නැගිටින්නට ගොස් ඇඳේ ඔළුවත් වැදිනි.

“හත්දෙයියනේ..ලැප්ටොප් එක“

දඩිබිඩි ගා ලැප්ටොප් එකද තුරුල් කරගෙන යලිත් ඇඳ යට රිංගාගෙන මහා හයියෙන් ඉතිපිසෝ ගාථාව කියන්නට විය.

                                   * * * * * * * * *

කීප දෙනෙක් ලෝක විනාස දිනය ගතකලෝ ඔන්න ඔය විදියට තමයි. ඒ වගේම ඔබතුමන්ලා දන්න ඇතැමුන්ද මේ විදියට හෝ සමාන විදියකට දිනය ගතකරන්නට ඇති. එහෙම දේවල් තියනං කිව්වොත් වඩා හොඳයි. ඒත් ඉතිං මතක තියාගන්න ඕන දෙයක් තියනවා..මේ ලෝකේ විනාස වෙන්නේ එකපාරටම ඩෝං ගාලා නෙවෙයි...ඔබ අපි කරන දේවල් වලින් ටිකෙන් ටික තමයි...ඒක හැබැයි බොහොම භයානකයි

8 comments:

  1. කියලා වැඩක් නැ එ ගැන නම්...

    ReplyDelete
    Replies
    1. කිව්වනම් තමයි වටින්නේ...:P

      Delete
  2. ලෝකය විනාස වෙලා ඉවරයි. ආයි අලුතෙන් විනාස වෙන්න දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. //.මේ ලෝකේ විනාස වෙන්නේ එකපාරටම ඩෝං ගාලා නෙවෙයි...ඔබ අපි කරන දේවල් වලින් ටිකෙන් ටික තමයි...ඒක හැබැයි බොහොම භයානකයි//

      මමත් කියන්නේ ඔය ටිකම තමයි මිත්‍රයා

      Delete
  3. හික්ස්... //කොළුවාගේ මූණ උල්කාපාතයක් මෙන් ඇදවිය.//
    //සැනෙකින් යමක් මතක් වී නැගිටින්නට ගොස් ඇඳේ ඔළුවත් වැදිනි.

    “හත්දෙයියනේ..ලැප්ටොප් එක“// එදා දවසම මමත් ලැප් එක ලගින්ම තියන් හිටියා..

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඒ ඔබ තුමා වෙන්න පුළුවන්...

      Delete
  4. මේ ගැන නං දැං මං කියවන්නේවත් නැ. ඒ තරමටම එපා වෙලා

    ReplyDelete
    Replies
    1. සමාජගත මාතෘකා කාලෙන් කාලෙට එනවා සහෝදරයා..ඒවා තුල තිබෙන හර සම්පන්න සහ හරසුන් යන ද්විත්ව රංගනයම අඳුනාගැනීම උදෙසා ඒ ගැන කතා කර යුතුම වෙනවා

      Delete