May 4, 2013

හඳපානේ පැනලා යන්නට කලින් හිතන්න දෙයක්


පසුගිය දවස්වල වැඩිහරියක්ම ලිපිවලට මාතෘකාව වුනේ දේශපාලනය. ඒ නිසාම ෆැන්ටසි පුරය ලියන්නත් ඉඩකඩ ලැබුනේ නෑ. ඒ අතරම ඊයේ අහපු අත්තනායක.එම්.හේරත් මැතිතුමන්ගේ දේශනයක පටිගතකල කොටසක් නිසාවෙන් කතා කලයුතුයි කියලා හැඟෙන තේමාවක් පිළිබඳව අවධානය යොමු කරන්න හිතුවා. හඳපානේ පැනලා යාම කියලා අපි වචනයට කිව්වට ඉංග්‍රීසි භාෂාවේ elope එහෙමත් නැත්නම් elopement කියලා හඳුන්වන්නේ මේ දෙයම තමයි.මෙහි නිර්වචනය වන්නේ නැවත සාමාන්‍ය ගෙවූ ජීවිතයට නොපැමිණෙන ලෙස විවාහයක් පතමින් පැනයාමයි. එසේම හදිසියේ තමන් ආදරය කරන්නෙක් සමග විවාහ ජීවිතයක් වෙනුවෙන් පැන යාමත් නමින් මෙය නිර්වචනය කරනවා. කොහොම හැඳින්වුනත් මෙය අපි දන්නා පැනලා යාමම තමයි.


    මා ශ්‍රවණය කල දේශනයේ දේශකයා කියනවා නව යොවුන් පාසල් දරුවන් පිරිසකට තමන්ගේ හිතේ හීනයක් තබා ගන්නා ලෙසට ඒ කුමක් අරඹයාද කිසි දවසක දෙමාපියන්ට හොරෙන් පැනලා නොයන්නටත් කෙලෙස හෝ විවාහ මංගල්‍යයක් ගෙන මිතුරන්ගේ ඥාතීන්ගේ ආශිර්වාද මැද විවාහයකට එලඹෙන්නට යයි කියා. කොතරම් ප්‍රායෝගිකත්වය ගැන එම හීනයේ ගැටළුවක් තිබුණත් ඇත්තටම වටින හීනයක්. ආදරය වෙනුවෙන් ජීවිත කාලය පුරා තමන් සමග ජීවත්වූ මිනිසුන්ගේ හිත් නරක්කර හැරයනවාට වඩා සුන්දර ආශිර්වාද මැද ඒ ගමන යන්නට ඇත්නම් එහි වටිනාකම දේශකයා යොවුන් කණ්ඩායමට පැහැදිලි කරලා දෙනවා.

   ඇත්තටම මෙහෙම ආදරය වෙනුවෙන් හඳපානේ පැනලා යන ආදරවන්තයින්ගෙන් කීයෙන් කීයක් කඳුළු පුරවගෙන ඇතැම්විට රැගෙන ගියපු ඇඳුම්ටික වත් නැතිව ඇඳිවත පිටින්ම ගෙදර එනවා ඇත්ද, බාර්ගානේ ගොස් බිබී නාස්ති වෙනවා ඇත්ද. විවාහයන්හීදී දික්කසාද සහ අර්බුද තිබෙනබව ඇත්තයි නමුත් හඳපානේ යන්නේ තමන්ගේ ජීවිතයේ බොහෝ කැපකිරීම් සිදුකර අවසන්වය එවිට අවසානයේ ලැබෙන්නේ ඉහතකී ත්‍යාගනම් එහි කිසිම සුන්දරත්වයක් නැත.සමාජය ඉදිරියේ එයට තැනක් ලැබෙන්නේ නැත. 

    අප කොතරම් චින්තන විප්ලව ගැන කතාකරත් දෙමව්පියන් මේ සමාජයේ තවමත් සිතන්නේ තමන්ගේ දුව හෝ පුතා තමන්ට ගැලපෙන සහ තම අභිමතය පරිදි පමණක් විවාහයට එලඹිය යුතු බවයි.තරුණ පාර්ශවවල කෝණයෙන් එය ෆැසිස්ට්වාදී විය හැක. නමුත් දෙමව්පියන්ගේ කෝණයෙන් ඔවුන් සිතන්නේ තමන් කුඩා කල සිට ලේ දහඩිය වැයකර කැතකුණු අතගාමින් හැදූ දුව හෝ පුතා තමන්ගේ සිතැඟි ඉටුකරයි යන්නය. එවැනි සිතුවිලි ධාරාවක සිටින දෙමව්පියන්ට දිනක උදෑසන නින්දෙන් අවදිවූ විට දක්නට ලැබෙන්නේ හිස් කාමරයක් සහ ලියන ලද ලිපියක්නම් ඔවුන් කොතරම් අසරණ වනු ඇතිද, සමාජය ඉදිරියේ ඔවුන් පත්වන තත්වය කුමක්ද, ඇතැම්විට එවැනි පවුලක ඉතිරි සහෝදර සහෝදරියන්ගේ අවාහ විවාහ වලට ඒවා බලපාන බව නිදර්ශන මගින් දැක ඇත.
චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංඟිලා ගියේ
පාන නිවුන සේ පාළුයි ලයිම් කාමරේ
මන්ද නුඹ ගිය කියපන් රත්තරන් දුවේ

 ඉතා දුකසේ ජීවත් වූ පවුලක පහන යැයි සිතූ දියණියක් ආදරය වෙනුවෙන් පැන ගිය කල පියෙක්ගේ ලසෝරාවය එම ගීතයෙන් සුනිල් එදිරිසිංහ ශූරින් හඬ මුසුකරයි. ලයිම් කාමරයට පහනක් වූ දියණියගේ මේ වෙන්වයාම හිතට කොතරම් තදින් ද ැනී ඇත්ද. ඒ හැරති සිය අභිමතයට එරෙහිව වෙන්ම යාම ඊටත් වඩා දුකක් වී ඇත. එහෙත් අවසානයේ පියා කියා සිටින්නේ “පාර මතකනම් තාමත් ගේ ලඟයි දුවේ“

   මේ සමාජය විවිධාකාරය. ආදරය වෙනුවෙන් හෝ ආදරයේ ජයග්‍රහණය වෙනුවෙන් මෙලෙස හිතුමතේ යන ජීවිත ගැන අනන්තවත් දැක ඇත. නන්දා මාලනිය ගැයුවේත් එවැනි හිතුමතේට ගිය දියණියකගේ මවකගේ කතන්දරයයි

හිතුමතේට දීග ගිය දුවේ
නුඹේ දුවත් හිතුමතේට දීග ගියදිනේ
පියාණනුත් මමත් මෙදා
විඳින දුක  දැනේ..

 අපි තරුණ කාලයේදී කිසි කලෙක අන් අයගේ දුක අපට ආදේශකර එහි විපාක තේරුම්ගන්නට උත්සහ කරන්නේ නැත. නමුත් මෙහිදී කියන්නේ
එසේ හිතුමතේට යන දියණියට එහි විපාකය නොතේරුනත් ඇයගේ දියණියක් මේ දෙයම යම් දිනක කලහොත් එහි සැබෑ වේදනාව දැනෙනු ඇති බවයි.

  පැනලා යන්නට කලින් ජීවිතේ මාලිගා හදනවා මෙන්ම මේ කාරණාද හිතට ගත්තොත් ඇත්තටම කොතරම් වටීවිද.

13 comments:

  1. ඔබ මේ කියන කාරණා අතිශය සාපේක්ෂයි නේද?
    මිනිස්සු ආසාවෙන් පැනලා යනවද? වෙන විකල්පයක් නැතිම නිසා පැනලා යනවද? එතකොට පැනලා ගිහින් සතුටින් ජීවත් වෙන අය නැද්ද? ලක්ෂ ගණං වියදම් කරලා මහා විශාල සාද පවත්වලා විවාහ වෙලා දුක් විඳින මිනිස්සු නැද්ද? මේක ඔබ කියන රාමුවට සරලව ඔබ්බන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මේ ලෝකේ ඕනම දෙයක් සාපේක්ෂයි මිත්‍රයා. රාමුවකට සරලව ඔබ්බන්න පුළුවන් කිසිම ප්‍රපංචයක් හෝ සරලයි කියල හිතන සංකල්පයක් නෑ.මේ ඉදිරිපත් කරපු කාරණේ දුන්නේ හිතලා බලන්න.ඔය දෙපැත්තටම තර්ක කරන්න කාරණා තියනවා ඒත් විවෘත ජනසමාජයේ ඉඳලා මේ කාරණාව ගැන හිතද්දි එහෙම යන අයට වැරදියි කියලා කියන්නවත් දෙමව්පියන් වැරදියි කියන්නවත් උත්සහ කරන්නේ නෑ.හිතන්න පමණයි අවස්ථාව දුන්නේ.ඉතින් ඔබ බොහොම හොඳට හිතලා ඔබේ අදහස ඉදිරිපත් කරලා තියනවා.ස්තූතියි

      Delete
  2. අද කාලෙ වෙඩිං ගන්නවට වඩා ලාබයි බන් පැනලා යන එක..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත වෙනි අයියා

      Delete
  3. හඳපානේ හෝ මහා දවාලේ පැනයාම පෙම්වතුන් විසින් ඉතා ඈත අතීතයේත් සිදුකලා. වර්තමානයේත් සිදු කරනවා. අනාගතයේදීත් සිදුවෙනබව ස්ථිරයි. ඒක නවත්වන්න බැහැ. හැබැයි පැනලා ගියාට පස්සේ ජීවිතය ගැටගහගන්නට මාර්ගයක් නැතුව පැනලා යාමනම් ජීවිත දෙකක්ම අඳුරට පත්කරගැනීමක්. තවමත් අපේ රටේ බලපවත්වන ජාති ආගම් කුල බේද නිසා, ඉතා අවංක, එකිනෙකාට හොඳින් ගැලපෙන, විවාහ දිවියක් සාර්ථකව ගතකලහැකි පෙම්වතුන් දුකට පත්වීම කනගාටුවක්. හැබැයි පැනලා යන ජෝඩු (කාමය උත්සන්න වෙලා පැන යන විවාහක ජෝඩු නෙවෙයි. අවංක පෙම්වතුන්) බොහොමයකට දරුමල්ලෝ එකා දෙන්න ඉන්නකොට මහ ගෙවල් වලින් සමාව ලැබීමත් අපේ රටේ බහුලව සිදුවෙනවා.

    සුනිල් එදිරිසිංහගේ ගීතයේ අන්තිම පදය, 'පාර මතකනම් තාමත් ගේ ලඟයි දුවේ' කියා නිවැරදි විය යුතුයි. ඒ පදයෙන් කියන්නෙත් සමාව දෙන්නම් ගෙදර වරෙන් කියලා නේද?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අදහසට බොහොම ස්තූතියි මිත්‍රයා.සමාජය තුල වෙන දේවල් අද හෝ හෙට අවසන් වෙයි කියා හිතන්න අමාරුයි.ඒ වගේම එක් සමාජයකට හෝ සන්දර්භයකට සාමාන්‍ය දෙයක් තමත් එවැන්නකට අසාමාන්‍ය විය හැකියි. ඉක්මණ් තීරණවල පැවැත්ම පිලිබඳ බොහෝවිට ගැටළු ඇතිවෙනවා.
      ඔබ සඳහන් කල ගීයේ මුල් කොටසේ අන්තිම පදය “මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ“ ලෙස වෙනස් විය යුතු බව සත්‍යයි.ඒත් ඔබ සඳහන් කල කොටස නිවැරදි ලෙස මා සඳහන් කර ඇත

      Delete
    2. ඇත්තටම මට පොඩි වැරදීමක් වුනා. මට කරුණු දෙකක් පැටලුනා. 1. ඔය ගීතයේ අන්තිමට තමයි තියෙන්නේ 'පාර මතකනම් තාමත් ගේ ලඟයි දුවේ' කියලා කියන පදය. 2. ඔබ ඉහත දක්වා ඇති පද හතරේ අන්තිම පදය වියයුත්තේ.'මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ' ගීතය මෙතනින් අහලා බලන්න

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
  4. samhru nokarama bari tanka ehama karata. mamat ekagai post ekata.
    Jayawewa

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මිත්‍රයා අදහසට..

      Delete
  5. අවුරුදු ගානක් තමන්ව බලා ගනිපු මිනිස්සු එක මොහොතින් අතෑරලා යන්න පුළුවන් කෙල්ලෙක්ව මං නම් කවදාවත් විස්වාස කරන්නෙ නෑ... අම්ම තාත්ත අමතක කරන්න පුළුවන් එකියෙක්ට මොනවා කරන්න බැරිද ?

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.ඔන්න බොහොම දෙනෙක් නොහිතන පැත්තකි.අගය කරනවා අදහස

      Delete
  6. මෙහෙමයි ඕකේ ඉතින් හොද නරක දෙපැත්තම තියෙනවා.. මගේ නම් අදහස පැනලා යනවනම් ඊට කලින් තමන් ස්ථාවර වෙලා ඉන්න ඕන කියන එක.. නැත්නම් ඒ ජීවිත දෙකම අපරාදේ.. ජනාට මතක ඇතිනේ මම මෙහේ පැනලා යන හැටි වීඩීයෝවකින් බැළුවා.. ආන්න ඒකි ආයෙම ඇවිත් ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් මචං මට මතකයි ඒක.උඹ කියන කතාව ඇත්ත පදනම සහ ස්ථාවරත්වය ගැන හිතලා ගන්න තීරණය ඉතා වැදගත්

      Delete