May 6, 2013

සුරූපී නිවේදිකාව සහ කැරලිකාර කණ්ඩායම


සුරූපී රූපවාහිනී පුවත් නිවේදිකාව එදින රාත්‍රී පුවත් විකාශය අවසන්වීමෙන් අනතුරුව නැවත පෙර සැකසුම් කාමරයට ගොස් මූණ කණ්ණාඩියෙන් බලා ආලේපන කීපයක් සෙමෙන් තවරා ගත්තාය. අනතුරුව ඇය විකාශන මධ්‍යස්ථානයේ ප්‍රධාන දොරටුවෙන් නික්මී මාර්ගය වෙත පැමිණියාය.ඇය සිය සුඛෝපභෝගී මෝටර් රථය එනතෙක් බලා සිටියාය.ප්‍රධාන මාර්ගයේ එක් පසෙකින් ජීප් රථයක් හෙමින් සීරුවේ පැමිණ ඇය ඉදිරිපිට නතර කලහ.ඇසිල්ලකින් එයින් එලියට බට දෙදෙනෙක් නිවේදිකාවට හුස්මක් ගන්නවත් ඉඩ නොතබා ජීප් රියට දමාගෙන අධික වේගයෙන් පිටව යන්නට විය. නිවේදිකාව කෑ ගැසුවත් එය කාටවත් ඇසුනේ නැත.
    ජීප් රථයේ රියඳුරා සහ ඉදිරිපස අසුනේ අයෙක්විය. පිටුපස අසුනේ දෙදෙනෙක් සිටි අතර නිවේදිකාව රථයට දමා ගත්තේ ඔවුන්ය. ඇයගේ අත් ගැටගසා  තිබූ අතර ඇය මරහඬ තලමින් සිටියහ.අධික ලෙසට බියට පත්ව කඳුළු වගුරවමින් කෑගැසුවත් පලක් නොවීය.රථය වායුසමනය කර දොරගුලු වසා තිබුණු බැවින් ශබ්දය පිටට නොඇසුනි. ඇයගේ කෑගැසීම වලක්වාලීමට කට බැඳ දමන ලදි. ටික දුරක් ගිය විට ඇය හඬාගත නොහැකි තරමටම වෙහෙසවී ඇඬිල්ල නතර කලාය.

   ඉදිරිපස අසුනේ සිටි පුද්ගලයා ඇගේ කට ගැටගසා තිබූ පටිය ඉවත්කරන ලෙස අණකල අතර පිටුපස සිටි අයෙක් එය ගලවා දැමූවිට නිවේදිකාව යලිත් කෑගැසීය.ඉදිරිපස අසුනේ පුද්ගලයා දෙතොල් හරහා දබර ඇඟිල්ල තබා නිහඬවන ලෙස ඇයට සංඥා කර අතර ඇය එයට අවනත විය.

    “දැන් අපිට පාර පෙන්නනවා තමුසේ කියන අර අගනගරේ දිහාවට“ 


ඉදිරිපස සිටියේ කැරලිකාර කණ්ඩායමක නායකයෙකි.ඔහු නිවේදිකාවට එසේ අණ කලහ.

    “මොන අගනගරයක්ද?..තමුසෙලට පිස්සුද ඕයි..මාව අතාරිනවා..මට මොනවහරි වුනොත් තමුසෙලට ඉන්න ලැබෙන එකක් නෑ...ඕයි මම ජනමාධ්‍යවේදිනියක්..අතාරිනවා මාව“

    “පුහ්....ජනමාධ්‍යවේදිනියක්....තමුසෙ දන්නවද ජනමාධ්‍ය කියන්නේ මොනවද කියලා..එහෙමත් නැත්නම් ජනමාධ්‍යක වගකීම කියන්නේ මොනවද කියලා...“

කැරලි නායකයා අවඥා සහගත ලෙස පිලිතුරු දුන්හ.

    “ඒවලින් වැඩක් නෑ...තමුසෙට වෙඩි තියන්න ඉස්සෙල්ලා කියනවා කොහෙද තමුසේ අර කියපු අගනගරේ තියෙන්නේ කියලා“

කැරලි නායකයා එවර ස්වරය මදක් තීව්‍ර කර පැවසීය.

    “මොකක්ද මම කියපු අගනගරේ...මේ අපි ඉන්නේ අගනගරේ නෙවෙයිද..තමුසෙලට පිස්සුද..කව්ද තමුසෙලා..කොහෙද මාව මේ ගෙනියන්නේ..“

    “අපි නෙවෙයි තමුසේ තමයි අපිව ගෙනයා යුත්තේ...ඇයි තමුසේ අර හැමදාම රෑට උදේට දවල්ට කියන්නේ ප්‍රවෘත්ති වලින් අගනගරයක් ගැන...ජනතාව ප්‍රබෝදයෙන් අවධිවෙන..සම්පත් ඉතිරෙන..මිනිසුන් සමගියෙන් වාසය කරන..දියුණුවේ මූලස්ථානය..සංවර්ධනයේ දොරටුව..ආරක්ෂාවේ කේන්ද්‍රස්ථානය..රජුන්ගේ පාරාදීසය..තව එක එක නම්වලින් තමුසේ වර්ණනා කරන්නේ...මිනිස්සුන්ගේ අතමිට උතුරන..මිනිස්සු නිදහසේ ස්වඅභිමතය පරිදි වෙසෙන අගනගරේ..ක්ෂේමභූමිය..කෝ ඒක..තමුසේ අපිට පෙන්නනවා ඒ අගනගරෙට යන පාර..නැත්නම් මම තමුසෙගේ ඔලුව කුඩුවෙන්න වෙඩි තියනවා“
සුරූපි නිවේදිකාවගේ පැහැපත් මුහුණ කළුවිය.දෙනෙත් පිය කලබලයෙන් කිහිපවරක් ගැසිණි. හුස්ම කීපවරක්ම තදින් ගෙන සුසුමක් හෙලා නිහඬවී බිම බලාගත්හ. පිලිතුරක් ඇති බවක් පෙනෙන්නට විය.

   “තමුසෙම නේද කිව්වේ ඒ නගරයක් ගැන..අපි යටිබිම්ගතව හිටියත් තමුසෙගේ ඒ රම්‍ය අගනගරේ දකින්න ආසවුනා. අපි ආවා ඒක මේ අගනගරේ වෙන්න ඇති කියලා.ඒත් ඒක එහෙම නෑ.මේ නගරේ දූෂණ,වංචා හොර මැරකම් අපිරිසිදුකම විතරයි, කාලකණ්ණි දේශපාලඥයන්ගේ හිස් වචන විතරයි.මිනිස්සු යටකරගෙන එකෙක් දෙන්නෙක් වැජඹෙනවා විතරයි, මිනිස්සු බඩගින්න යටකරගෙන හිනාවෙනවා. ලයිට් පත්තු කරගෙන කළුවර වහගෙන බඩගින්නේ නිදාගන්නවා..උදේට නැගිටලා මල්ල අරන් රැකියාවට ගිහින් ජීවිතේ ගැන හීන මවනවා..මාසේ අග ගන්න පඩිය සතියෙන් වියදම් වෙලා ඉවර වෙනවා..ඉතුරු දවස් වල සුසුම් හෙලනවා..කෝ මිනිස්සුන්ගේ සතුට..කෝ තමුසේ අර උපමා උපමේය වලින් අලංකාරවලින් මවපු අග නගරේ..පාර කියනවා වෙඩි කන්නේ නැතුව ඒකට..“

සුරූපී නිවේදිකාවට ඇඬෙන්නට විය.ඇය ඉකිබිඳුම අතරින් කඳුලු බේරී බේරී කැරලි නායකායාට පිලිතුරු දෙන්නට විය.

    “දෙවියනේ ඒක මගේ රස්සාව..මට කියවන්න දෙන ඒවා මම නොකිව්වොත් මට වෙන්නේ ගෙදරට වෙලා බඩගින්නේ ඉන්න..මහා බිල් තොගයක්,නඩත්තු කුලී,කෑම වියදම්..ඒ සේරම පියවන්නේ මට ලියලා දෙන දේවල් කියලා තමයි..මේක මගේ රස්සාව..දෙයියනේ මම මොනවා කරන්නද..මේවා මගේ වැරදිද..“

කැරලි නායකයා මදක් කල්පනා කරන්න විය. සිහින් සිනාවක් ඔහුගේ මුහුණට නැගිනි.

    “ඔව් මේක තමුසෙගේ රස්සාව වෙන්න පුළුවන්.ලියන දෙන දේවල් තමුසේ කියවනවා වෙන්න පුළුවන්..ඒත් තමුසෙට හෘද සාක්ෂියක් කියලා දෙයක් නැද්ද? ලියලා දෙන හැමදේම තමුසේ කියවන්න ඕනද? තමුසෙගේ කොන්දත් රැකියා ගිවිසුම එක්ක  තමුසෙලාගේ චැනල් එකේ ලොක්කට දුන්නද? දැන දැන බොරු කියන උඹලගේ හෘද සාක්ෂියත් විකුණලද? අවජාතක හැත්ත..“

නිවේදිකාව තව තවත් හඬන්නට විය. ඇයගේ හැඬුමට කැරලිකාරයන් කිසිවෙක්ගේ ලය උණු නොවුන බව සහතිකය. කැරලි නායකයා අවඥාසහගතව බලා සිටියදී නිවේදිකාව යලිත් සිය  අඳෝනාව ඉදිරිපත් කලාය.

    “මම පිලිගන්නවා...ඒ කියන දේවල් ඇත්ත නෙවෙයි වෙන්න ඇති..ඒත් දෙයියනේ මම මොනවා කරන්නද..මට හෘද සාක්ෂියක් නැතුව නෙවෙයි..මේ මවාපෑම් කියද්දි මගේ හදවත දහස්වාරයක් අඬලා  ඇති සැලිලා ඇති..ඒත් මම කියලා මොනවා කරන්නද..අවුරුදු ගාණක් දුක්විඳලා මේ තැන ස්ථිර කරගත්තේ..හෘද සාක්ෂිය ගැන හිතලා මෙතනින් අයින් වුනොත් වෙන කිසි තැනක මට රස්සාවක් කරන්න ලැබෙන්නේ නෑ..ඒ වගේම මම අඩියක් වත් හෙලවුනොත් මගේ තැනට පොරකන්න බලු පොරයක් වගේ තොගයක් එවුන් බලාගෙන ඉන්නවා..මම මොනවද කරන්නේ...මම අසරණයි“

කැරලි නායකයා මහ හඬින් හිනා වෙන්නට විය. ඔහුගේ හිනාවෙන් මහා කතාවක් කියන බව නිවේදිකාව තේරුම් ගත්හ.

   “ඔව් එක පැත්තකින් උඹලට බැනලා වැඩකුත් නෑ..මේ රටට වින කරලා මේ රටේ ලේ ගංඟාවල් හලපු ත්‍රස්තාවාදී නායකයටත් උඹලා මහත්මයා කිව්වා, එතුමා කිව්වා..මේ රටේ එලිපිට මිනී මරන එවුන්ට හුරේ දැම්මා..එහෙම එකේ උඹලට මේවට කරන්න දෙයක් නෑ..මේවා උඹලගේ ලොක්කන්ගේ වැරදි..ඒත් උඹලා අද ඉඳන්වත් තේරුම් ගනින් මේ රටේ හැම එකෙක්ම හරක් නෙවෙයි කියලා උඹලගේ තණකොල කන්න..“

නිවේදිකාව හඬමින් කැරලි නායකයාගේ කතාව අසා සිටියාය. ඒ හැරෙන්නට කල හැකි යමක් නොවීය. කැරලි නායකයාගේ අණින් වාහනය නතර කෙරීය. 

    “ඔය ගෑණිව...ඔතනින් බස්සවලා අත් දෙක ලිහනවා..හැබැයි අපි අත් ලිහුවත් තමුසෙගේ අත්,කට, කකුල් විතරක් නෙවෙයි තමුසෙගේ සිතුවිලි පවා බැඳලා දාලා කියලා තමුසේ අමතක කරන්න එපා..“

දොර ඇර එලියට ගත් නිවේදිකාවගේ අත් ලිහා අත්බෑගය අතට දීමෙන් අනතුරුව ජීප් රථයේ දොර වැසීය. නැවත ඉදිරි ජනේලයෙන් ඔලුව දැමූ කැරලි නායකයා යමක් කීය.

   “තමුසේ අර දවස පුරා මවපු නගරේ තමුසෙටවත් කවදාවත් දකින්න බැරිවෙයි..සුබ රාත්‍රියක් තමුසෙට!“

19 comments:

  1. ගහක පිලිලයක් හැදුනම සහෝදරයා ඒක ටික ටික කපල වැඩක් නෑ.... ආයිත් ලියලනවා .. එක හින්ද කරන්න තියෙන්නේ මුවහත් පිහියකින් පිලිලය මුලින්ම කපල දාන එක ... ඒත් අපේ ගොඩක් මිනිස්සු එහෙම කරන්නෙ නෑ ... ඒ මිනිස්සු හිතන්නේ පිලිලයේ මුල රඳා පවතින්නේ පිලිලය වටේට තියෙන අංකුර වල කියල , අවුරුදු 4කට වතාවක් එවා කපලා දානවා .... තමන්ට අවුරුදු 6 කට වතාවක් එන මහා පිලිලය ඉවත්කල හැකි මුවහත් පිහිය ඉවත දමන මිනිස්සුම තවත් අවුරුදු 6ක් අපා දුක් විඳිමින් අංකුර කැපීමට මාන බලමින් සිටිනව ... මේ රට කවදාවත් ආශ්චර්යයක් නොවන්නේය ....

    ReplyDelete
    Replies
    1. දැන් නම් ගහම කපන්න වෙන තත්වයක් තියෙන්නේ

      Delete
  2. හ්ම්ම් නියමයි මේක

    ReplyDelete
  3. NIWEDIKAWATA PUDUMA BAYAK HITHENNA ATHI. AHANA KOTATH ANGE MILE KELINWENAWA. GEENITA CHOO, PADA, JEE EHEMATH YANNA ATHI. HARIMA DUKAI

    ReplyDelete
  4. සිතුවිලි මිනියන ගණනක් අකුරු වී අති අපූරුව.

    ReplyDelete
  5. ඔය විදියට ආන්ඩුවට කඩේ යන චැනල් වල සුරූපී නිවේදිකාවෝ නෑ අයියා. ඉන්නෙ සේරම ලොක්කන්ගෙ ලිස්ට් වලින් ඇවිත් පිස්සු කෙලින නිවේදිකාවො.

    ReplyDelete
  6. අවශ්‍ය කාරණාව අමු අමුවේ දෙසන්නේ නැතිව, අනින්න ඕනේ තැනට හීන් සීරුවේ ටොක්ක ඇනීම දක්ෂ මාධ්‍යවේදීන් සතු ලක්ෂණයක්. ඔබ තුල ඒ දක්ෂතාවය තිබෙනවා. සුබ පැතුම්.

    ReplyDelete
  7. නිවේදිකාවෝ???? කතා කිරීමද පුස්සකි!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  8. ජනරඟ මේක නම් සුපිරි මචන්..!! මාරම ගති..!!
    නගරබදව ගොඩක් මිනිස්සු මේ ගැන මොනතරම් අවිධියෙන් හිටියත් ගම්බදව තවමත් රජයේ මාධ්‍ය රජ වෙලා ඉන්නේ.., ඉතින් රජතුමා ඉතා සරළව අලිදෙන්නම් කොටි දෙන්නම් කියලා සීතම්බර සලු වල ඔතලා දෙන කැරට් අලේ බොහොම රසකර කර අර කිසිත් නොදන්න ගැමියා කනවා.., ඔතනින් ඉපදෙන අර මානසික ගංජා වලට වහ වැටෙන මිනිහා තවත් වරක් තමන් සිහිනයකින් දකින රැයැලටියක් යැයි හිතන (හිතන්නට බල කරන) රම්‍ය නගරය සාදන්නට කියා නැවත් වරක් ඡන්දය පුදනවා අර උන්නැහේලටම.., මේ චක්කරේ එක පාර්ශවයකට විතරක් නොවේ, එය සර්ව පාර්ශවිකයි.
    හොඳ ලිපියක් කියෙව්වා..!
    ස්තූතියි..!

    ReplyDelete
  9. ඇත්තටම අගෙයි...

    '' අපි අත් ලිහුවත් තමුසෙගේ අත්,කට, කකුල් විතරක් නෙවෙයි තමුසෙගේ සිතුවිලි පවා බැඳලා දාලා කියලා තමුසේ අමතක කරන්න එපා..“

    අපිට සිද්ධ වෙලා තියෙන්නෙත් මේ ටිකම තමයි....

    ReplyDelete
  10. මේක නම් සිරා මචං.. එක අතකට ලියලා දෙන එක කියවන උන් වැරදිත් නෑ බං.. උන් කරන්නේ රස්සාවනේ.. ලියලා දෙන උන්ව තමයි උස්සන් යන්න ඕන..

    ReplyDelete
  11. පට්ට ලිවිල්ලක් ජනේ සහෝ...! රිදෙනවා... ඇඬෙනවා !!! මම මේක ෂෙයා කරනවා

    ReplyDelete
  12. පරිකල්පනය නම් මරු, ඒත් සහෝ වියරණ වැරදි එමටයි.

    ReplyDelete
    Replies
    1. meka meya liyapu ekak nemeyi saththakinma siduwu deyak

      Delete
  13. ITN හරි ජාතික හරි නිවේදිකාවක්,
    එත් ඒවගේ දන අඩුගානේ සුරූපී එවුන්වත් නෑ....

    ReplyDelete
  14. වටිනා කතාවක් වටිනා උපායක් ඔබ දක්ෂයෙක්

    ReplyDelete