Jul 22, 2013

අපේ සිනමාවට කජු කිරි කොල්ලන්ගෙන් පවා ගතයුතු යමක් ඇත


සිනමාව යනු විශ්වීය මාතෘකාවක්, ලෝකයේ සිනමා සම්ප්‍රදායන් අනන්තවත් බිහිවී ඇත අතර ඇතිවීමටද නියමිතය. බොහෝ සම්ප්‍රදායන් වලින් නවපරපුරට ගතයුතු බොහෝ දේ ඉතිරිකර ඇත. ඉන්දියානු සිනමාව භූගෝලිය වපසරියක් තුල බිහිව ලෝකයට එන්නත් කල සිනමාවක් ලෙස ඉහලින්ම වැජඹුන අතර අද එය ලොව සුපිරිම වාණිජ චිත්‍රපට කර්මාන්තයක් බවට පත්ව ඇත. බටහිර සිනමාව අදවන විට වාණිජ සිනමාවක් මෙන්ම, නිර්මාණශීලී සහ නවතාවයක් සහිත පර්යේෂණ නිර්මාණ දක්වා පුළුල්ව පැතිරී ඇත. දැන් විමසිය යුත්තේ අපේ ලාංකේය සිනමාව ඇත්තේ කොතනද යන්නයි.
  
    දශක කීපයකට පෙරාතුව අපේ සිනමාව ඉතා ඉහල ජනප්‍රසාදයක් සහිත සිනමාවක්ව තිබූ අතර චිත්‍රපට ශාලා  ඉහල ලාභ ලැබූ අතර සිනමාව කර්මාන්තයක් ලෙස ඉහල තලයක රැඳිණි. වාණිජ මෙන්ම සම්භාව්‍ය නිර්මාණ බිහිකරන සිනමාවක සිට අද වැටී ඇති කසිකබල් සිනමා කර්මාන්තයක් දක්වා අපේ සිනමාව පැමිණියේ කෙසේද. අද වනවිට වසරකට බිහිකරන නිර්මාණවලින් අත බහුතරයක් අමු ඉන්දියානු පිටපත්ය. වෙනසකට ඇත්තේ භාෂාව සිංහලවීම සහ රඟපාන්නට බැරි ලංකාවේ නළුවන් සහ හරියකට නටාගන්නවත් බැරි වංගෙඩි නිලියන් ඒවායේ රඟපානවා වගේ යමක් කිරීම පමණි. එසේත් නැත්නම් ඉතිහාසය සිද්ධි හෝ රජ පෙලපතක් අල්ලාගෙන පට්ටා ගසයි, දේශපාලනික තල්ලුවකින් පාසල්වලටද නිර්දේශ කිරීම තුලින් සහ තඩි ප්‍රචාරණ ක්‍රමවේද තුලින් යන්තම් වියදම් කල ගාන ශේප් කරගනිති. එයිනුත් එහා ගියවිට පශ්චාත් යුධ නිර්මාණ ලෙස කොටි ත්‍රස්තවාදීන් පතුරු ගසා හීන් ආතල් එකක් ලබා දේ. එයට රාජ්‍ය අනුග්‍රහයද නොමදව ලැබෙන නිසා චිත්‍රපටයට වැයකල මුදලම නොලැබුණත් ඊට වඩා වරප්‍රසාද ලැබීමට හැකිය.

   මේ රාමුවෙන් එහා ගිය නිර්මාණ බිහිවුවත් ඒවා බොහොමයක් ඉලක්ක කරන්නේ දේශීය ප්‍රෙක්ෂකයා නොව විදේශීය සිනමා උළෙලවල්ය. තහනමට ලක්කල "ඉගිලෙන්න මාළුවෝ" සිට "අක්ෂරය" දක්වාත් "තනි තටුවෙන් පියාඹන්න" සිට "නිකිණි වැස්ස" දක්වාත් කියාපාන්නේ එම තේමාවයි. ඉඳහිට "ගරිල්ලා මාකටිං", "කර්ම", "ඉර මැදියම", "බඹර වලල්ල" වැනි ඉහල ගනයේ වින්දනයක් සහ සමාජ අර්ථ කථනයක් දෙන යථාර්ථවාදී නිර්මාණ බිහිවන මුත් ඒවා අගයකිරීමට තරම් රෑ දෙගොඩහරියක් වනතෙක් පවුල් පිටින් රූපවාහිනිය ඉදිරිපිට ලංකාවේ සහ ඉන්දියාවේ මෙගා පතුරු ගසන ජන මනස වර්ධනය වී නැත. එබැවින් ඉහත කී වැනි නිර්මාණවලට සාධාරණය ඉටුනොවේ, ආර්ථිකමය ලාභයක්ද නැති හෙයින් නැවත එවැනි නිර්මාණ කිරීමටද නොපෙළඹේ.

    එවැනි වාතාවරණයක් තුල අපේ සිනමාව කජුකිරි කොල්ලන්ගෙන් පවා යමක් ඉගනගත යුතු යයි අප පවසන්නේ ඇයි. පසුගිය දිනවල සමාජ ජාල හරහා හුවමාරු වූ අපූරු වීඩියෝ පටයක් විය. ඒ අපේ රටේ මහපොලොව මත අපි වගේම ජීවත්වෙන කජුකිරි කොල්ලන් කීපදෙනෙක්ගේ අපූරු නිර්මාණාත්මක ප්‍රයත්නයකිය. ඔවුන් එය නම්කර තිබුණේ "නැව් ටෝක්" ලෙසය. එහි කොටස් දෙකකින් සමන්විත වන අතර එහි දෙවනි කොටස "ද වලිය" සඳහන් විය. ඒවායේ අඩුපාඩු තිබුණද අපේ සිනමාවට පාඩම් උගන්වන තරමටම ඒවා සවිමත්වීම පුදුම සහගතය. උන්ගේ නිර්මාණශීලීත්වය, කතා සාරය, කොමඩි වුනත් කරන විදිය, කොපි වුවත් එය නිර්මාණයට ඈඳන ආකාරය ඉතා ඉහලය. සේරමට වඩා කැමරාකරණය, සංස්කරණය ඉහලය. බටහිර චිත්‍රපට තරමට ශබ්ද ප්‍රයෝග, දෘශ්‍ය ප්‍රයෝග භාවිතා කර ඇත. රඟපාන කජුකිරි කොල්ලන් ටිකද අපූරුවට සිය කාර්ය භාරය සිදුකරයි.

    උන් රංචුවට අධ්‍යක්ෂකවරු නැත. තමන්ම හිතා තමන්ම රඟපාති. පලවෙනි කොටසට වඩා දෙවනි කොටස අති සාර්ථකය. බොහෝ වැරදි ඉන් හදාගෙන තිබුණි. රංගනයේදී හැඟීම් ප්‍රකාශනයද හාස්‍යයට ගැලපෙන ආකාරයට සකසා ඇත. හොඳම දේ උන් වෙනස් දෙයක් ගැන හිතා ඇත. දෙවැනි වීඩියෝව මිනිත්තු 10 කට ආසන්නය. ඒ කියන්නේ උන් රංචුවට චිත්‍රපටයක් වුවත් කරන්නට හැකියාව ඇත. හැබැයි උන් චිත්‍රපටයක් කලහොත් වත්මන් වාණිජ සිනමාව ඉල්ක්ක කරගෙන ගොං ජෝක් කරන, හැමදාම එක කොමඩිය අග මුළ මාරුකර පාවිච්චි කරන නළු නිලියන්ට, අමු කුණුහරුප කියා රට හිනස්සන්නට ගොස් පචවෙන එවුන්ට දුවන්නට පාරවල් නැතිවෙනවා නොඅනුමානය.

   කජු කිරි කොල්ලන් දෙවනි වීඩියෝව එලෙසින් කරානම් තුන්වැන්න තවත් හොඳින් කරනු ඇත. ඒ මන්ද ඔවුන් ආවට ගියාට නොව හොඳ අධ්‍යයනයකින් සහ අවබෝධයකින් යුතුව කටයුතු කරන බව පෙනෙන්නට ඇති නිසාය. එ් නිසා කජු කිරි කොල්ලන්ගේ වීඩියේව හෝ බලා අපේ සිනමාකරුවන්ට ඉගනගන්නට බොහෝ දේ ඇත. ලැජ්ජ වුවත් එය එසේ විය යුතුය.

නැව් ටෝක් 2 - ද වලිය වීඩියෝව පහතින්

5 comments:

  1. නිර්නාමිකJuly 22, 2013 at 2:55 PM

    Social media !

    ReplyDelete
    Replies
    1. සමාජ ජාලානුගත සිනමාව

      Delete
  2. ඇත්තටම ඒගොල්ලෝ හොඳට කරලා තියනවා ..හැමදේම හොඳට තියනවා ... මම සුභ පතනවා ඒගොල්ලන්ට ...! සිනමාව නං ඉතිං අභාවයටම ගිහිල්ලා . බටහිරින් අපිව ආක්‍රමණය කරලා කියලා කට්ටිය උඩ පනිනවා ...ඉන්දියාවේ ෆිල්ම් ඒවායේ ගී තනු ඒ ඔක්කොම ඒ හැටියටම අපේ අය කොපි කරනවා ...බොලිවුඩ් හරි හොලිවුඩ් හරි ඔය මොකකින් හරි අපේ මිනිස්සු දන්නේ නෑ දෙයක් අරගන්නේ කොහොමද කියලා ...අවශ්‍ය දේ විතරක් ගත යුතු දේ විතරක් තෝරලා බේරලා ගන්න දන්නේ නෑ .. පහසුවට කොපිය විතරයි ! ඒ කරලා ගන්න කොපියත් බලු වටින්නේ නෑ ...ගත්තු මුල් නිර්මානේට කිට්ටු කරන්නවත් බෑ

    ReplyDelete
    Replies
    1. ඇත්ත සහෝදරිය..අවාසනාවකට ඕක කවදා තේරුම් ගනීවිද

      Delete
  3. thanx a lot 4 ur comments..apita atthatama loku hiyak oyalage me comments.api apita puluwan uparima de karanava.thanx janaranga aiya!!!!(jaka)

    ReplyDelete