Feb 13, 2014

ඇමතිතුමාට අමුතුම ලෙඩක් !


 
ඇමතිතුමාලා ගැන කතා කරන්න බොහෝ දේ තියනවා. ඒ බොහෝ දේ ලියන්න පටන්ගන්න කොට ලියලා ඉවරකරන්න බැරි තරමට රසබර සිදුවීම් එහෙමත් තියනවා. මේකත් එහෙම සිදුවීමක් කියලා ගත්තට කිසි තරහක් නෑ ආයුබෝන්. ඔන්න යටගියදවස බරණැස බ්‍රහ්මදත්ත කියලා නිරිඳෙක් දසරජ ධම් අනුව රාජ්‍ය කරන කාලයට වසර තුන්දහසකට විතර පස්සේ කාලෙක එක්තරා රටක එක්තරා දුරබැහැර පළාතක එක්තරා ඉස්කෝලයක් තිබුණා. සාමාන්‍ය පාසල් දිනයක් නිසා එදත් පුරුදු විදියට දරුවන් පාසල් භූමියේ ඉගනීම් කටයුතු, ක්‍රීඩා කටයුතු, කෙලිකවටකම් වගේ බොහොමයක් දේවල් කර කර හිටපු වෙලාවක්.
 
එතකොටම ඉහල අහසේ මහ සද්දයක් ඇති කරමින් හෙලිකොප්ටරයක් විද්‍යාල භූමියේ පැත්තක තිබුණ පිට්ටනියට පහත් කරන්න පටන්ගත්තා. ජීවිතේ පලමුවෙනි වතාවට සද්දන්ත හෙලිකොප්ටරයක් අහසේ යනවා දැක්කට මෙහෙම ඇස්මානෙට දැකලා නැති දරු දැරියෝ විතරක් නෙවෙයි පිටිසර පාසලේ ගුරුභවතුන් පවා පිටිය වටේට එකතුවුණා. මහ දූවිලි වලාවක් අතරින් හෙලිකොප්ටරය පහත් කරද්දිම ආරක්ෂක හමුදා සහ පොලීසියේ වාහන ගණනාවක් ඇවිත් පිටිය වටකරලා සන්නද්ධ ආරක්ෂාව දෙන අතරේ හෙලිකොප්ටරය සම්පූර්ණයෙන්ම බිමට බාලා නතර කරා. දරුවෝ ටික බොහොම උනන්දුවෙන් සහ සතුටෙන් එකිනෙකාට මත පලකරමින් සද්දන්ත යන්තරේ දිහා බලන් ඉන්න අතරේ පිටියේ එක් පසකින් විශාල කන්ටේනරයක් පිටිය මැදිට ආවා. ඒකේ අලුත්ම පාටට දිලිසෙන කාර් දෙකක්ම රැගෙන ආවා. ඇසිල්ලකින් එක කාර් දෙකම කන්ටේනරයෙන් බිමට බැහැලා හෙලිකොප්ටරය ලඟට අවා. දැඩි ආරක්ෂාව මැද්දේ හෙලිකොප්ටරයෙන් එලියට බැස්සේ ළමයි හොඳට ටෙලිවිෂන් එකෙන් දැකලා පුරුදු ඇමතිතුමෙක්. තමන්ගේ කරේ දාගෙන හිටපු දිග රෙදි කඩකින් දාඩිය පිහිදාගත්ත එතුමා පිළිගන්න හෙලිකොප්ටරය ලඟටම පළාතේ දේශපාලන ප්‍රධානියත් තමන්ගේ සුඛෝපභෝගී වාහනයෙන් ඇවිත් හිටියා. ඇමතිතුමා අත් අල්ලලා පිළිගත්ත මෙහොතෙම අඩියක් දෙකක් තියලා අර කන්ටේනරේ ගෙනාපු කාර් එකට ඇමතිතුමා නැග්ගා. විදුලි වේගයෙන් දූවිල් වලා මැද්දේ ගෙනාපු කාර් දෙකයි, පළාත් ප්‍රධානියාගේ වාහනෙයි, ආරක්ෂාවට ආපු වාහන තොගයයි සේරම ගියා. ඒත් හෙලිකොප්ටරය පැත්තටවත් කාටවත් යන්න බැරිවෙන්න ආරක්ෂාවට සෙබළු හිටියා. දැන් පාසලේ දරුවන්ට ප්‍රශ්න ගණනාවක් හිතට මතුවෙලා තිබුණා.
 
“ඒ බං...අපේ පැත්තේ යුද්ධේ කාලෙ කොටි හිටියද?“
 
එක කටකාර කොල්ලෙක් නළල රැලිකරගෙන තමන්ගේ ලඟ හිටපු තවත් කොල්ලෙක්ගෙන් ඇහුවා.
 
“නෑනේ බං..“
 
“එහෙනම් දැන් ඉන්නවා ඇත්ද?“
 
ආයෙමත් ප්‍රශ්නයක් ඇහුවා. ඒ පාරනම් යාළුවට ටිකක් තරහත් ගියා. ආසාවෙන් හෙලිකොප්ටරෙත් ඒක ආරක්ෂාකරන්න නවීන අවි තියාගෙන ඉන්න සෙබළු දිහා නිදහසේ බලන්නත් නෑ මේ කොල්ලගේ ප්‍රශ්න ඇහිල්ල නිසා.
 
“පිස්සුද බොට..දැන් කොහෙද කොටි..කොටිත් දැන් මහජන සේවයේනේ බං“    
 
“එහෙනම් මොකටද බං ඇමතිතුමාට අපේ පැත්තට එද්දි මෙච්චර සේනාවක ආරක්ෂාවක්?“
 
ඒ පාර කොල්ලා අහපු ප්‍රශ්නෙට වටේ හිටපු යාළුවට විතරක් නෙවෙය අනිත් කෙලලො කොල්ලන්ටත් උත්තර නැතිවුණා.
 
“ඒකත් ඇත්ත තමයි..කව්රු කියලා බෝම්බ ගහන්නද බං..“
 
“ඒකනේ..ඔය ඉඳලා හිටලා පොලීසියෙන් දරුණු අපරාධකාරයෝ ලඟ තිබිලා හොයාගන්න තඩි බෝම්බ ඇරෙන්න ගහන්න බෝම්බවත් නෑනේ බං..“
 
දැන් එතන හිටපු දරු දැරියෝ සේරටම බරපතල ප්‍රශ්නයක්. කොච්චර කල්පනා කලත් ඒකට උත්තරය් පුංචි මොළවලට ආවෙම නෑ.
 
“ඒ මදිවට ඇයි බං අර ඇමතිතුමාට ඇවිදින්න බැරි අඩියක් දෙකක්..එයා හෙලිකොප්ටරෙන් බහිද්දිම කාර් දෙකක් ලඟටම ආවේ..මට ඇහුණා ඒ කාර් දෙක ආවේ අගනගරේ ඉඳලමලු..ඇයි මෙහේ කාර් වල යන්න බැරිද බං..“
 
ළමයි සේරම මේ කොල්ලගේ ප්‍රශ්නවලට හොල්මන් වෙලා ඉන්නකොට ඒ අසල හිටියා පහල පන්තියේ ටිකක් ඇට්ටර කොල්ලෙක්. මිනිහා මේ සේරම අහන් ඉඳලා දුන්නා මරු උත්තරයක්.
 
“ඇයි ඔයගොල්ලෝ දන්නේ නැද්ද..ඒ ඇමතිතුමාට තියනවා දරුණු ලෙඩක්“
 
කට්ටියම පුදුම වෙලා මේ කොල්ලා දිහා බැලුවා.
 
“ලෙඩක්...මොකක්ද එයාට තියන ලෙඩේ?“
 
“ඇමතිතුමාගේ පස්ස පැත්තේ දියපට්ටා හැදිලා..“
 
මේ පහල පන්තියේ බටු ඇට දෙකක් උස නැති කොල්ලා කියපු කතාවට ටික දෙනෙක්ට හිනාගියත් වැඩි දෙනෙක්ට ඇමතිතුමා ගැන මහා දුකක් ඇතිවුණා. දෙයියනේ ජනතා සේවෙට ගිහින් නේද මේ පස්ස පැත්තේ දියපට්ටා හැදිලා තියෙන්නේ කියලා මූණු ටික දුකෙන් පිරුණා.
 
“ඒ විතරක් නෙවෙයි..දියපට්ටා කාලයක් තිස්සේ තිබිලා ගල් තෙළඹුද මොකක්ද ලෙඩකුත් හැදිලා...ඔපරේෂන් කරාටත් හරිගිහින් නෑ“
 
ඒක අහන් හිටපු සේරටම ඒ පාරනම් අනේ අපොයි කියලා කියවුණා. එතකොට  මේ ඇමතිතුමා ටෙලිවිෂන් එක ඉස්සරහා කට පිරෙන්න හිනාවෙලා ජනතාවට අතදැම්මට කොච්චරනම් වේදනාවකින් ඉන්න මනුස්සයෙක්ද කියලා දරු දැරියන්ගේ හිත් කඩාගෙන වැටුණා.
 
“හරි බං එතකොට පස්සේ දියපට්ටා හැදුනම වාඩි වෙලා යන්නත් බෑනේ මොන වාහනේකවත්..“
 
පහල පන්තියේ ඇට්ටර කොලුවත් මේ කිසිම ප්‍රශ්නෙකින් සැලුණේ නෑ. දිගටම උගේ ඇම්බැට්ට කතා ටික කියාගෙන ගියා.
 
“ඔයගොල්ලෝ දන්න තරම තමයි...ඔය හෙලිකොප්ටරේ හදලා තියෙන්නෙත් ඇමතිතුමාගේ දියපට්ටා ලෙඩේට හරියන් විදියට එන්න පුළුවන් විදියට..තව මෙහේ වාහන වල යන්නේ නැතුව එහෙන්ම වාහන ගෙනාවෙත් ඒ වාහන ඇමතිතුමාට කරදරයක් නැතිව යන්න පුළුවන් විදියට හදලා තියෙන නිසා..මෙහේ වාහන වල කොච්චර සැප තිබුණත් පස්සේ දිය පට්ටා ලෙඩේ නිසා ඇමතිතුමාට යන්න බෑ..“
 
කට්ටියම හරි පුදුමෙන් වගේ මේ බටු ඇටයක් වගේ කොල්ලගේ මහා විශ්ලේෂණය ගැන අහගෙන හිටයි. දැන් හෙලිකොප්ටරේ ගැන ගාණක්වත් නෑ. කට්ටියගෙම අවාධානේ තිබුණේ මේ කොල්ලා දිහාවට. මේ යකා කියන කතාවල සාධාරණ හේතුත් තියන නිසා කට්ටියටම කථාව විශ්වාස නොකර බැරිවුණා.

“එතකොට බං මොකටද දැන් ඔය කාර් දෙකක්..එක වගේ දෙකක් ඕන නෑනේ..“

“මී හරකෝ..“

තමන්ට ඉහල පන්තියේ එකෙක්ට මී හරකා කිව්වම ඉහල පන්තිවල එවුන් පොඩි එකාට එරෙව්ව නිසා මිනිහා ස්වරය ටිකක් සන්සුන් කරගෙන කතා කරා.

“ඈ බං අයියේ..දැන් හදිස්සියෙවත් මේ අපේ ගමේ පාරකදි එක කාර් එකක් කැඩුණා..එතකොට ඇමතිතුමා අර පස්සා පැත්තේ දිය පට්ටා එක්ක යන්නේ මොකෙන්ද..පයින් යන්නත් බෑ දිය පට්ටා නිසා..එකක් කැඩුණොත් අනිත් එකේ යනවා..සේරම වෙඩි නොවදින ඒවා..“

කොල්ලගේ කතාව අනුමත කරන්න ප්‍රශ්නේ අහපු එකා ඇරෙන්න අනිත් සේරම ඔළුව වැනුවා.

“දැනු උඹ කොහොමද සේරම දන්නේ..“

“මේ.....අපේ අප්පච්චිගේ හොඳම යාළුවා ඔය ඇමතිතුමාගේ ඔෆීස් එකේ වැඩ“

කොල්ලා තවත් අලි කෙබරයක් අතෑරලා දැම්මා. කොල්ලගේ නයා ඇරිල්ල දෙවනි වෙන්නේ වෙනී මාමගේ නයි ඇරිල්ලට විතරයි කියලා කොල්ලට කියලා දෙන්න එතන එකෙක්වත් හිටියේ නෑ.

කොහොමින් කොහොම හරි කට්ටිය එතනින් විසිරිලා ගියා. නිකන් නෙවෙයි බෝවෙන ලෙඩක් වගේ බොහොම ඉක්මණට මේ ඇමතිතුමාගේ අමුතුම රෝගේ ගැන කතාවත් ඉස්කෝලේ පුරාම පතුරවන ගමන්. නමයේ පන්තියෙන් කතාව දහය එකොලහ පන්තිවලට ගියා. ඊට පස්සේ උසස් පෙළ පන්තිවලට. උසස් පෙළ පන්තිවල ළමයි කියන ඒවා ගුරුවරු එහෙමත් විශ්වාස කරන නිසා ඇමතිතුමාගේ මේ පශ්චාත් භාගයේ දියපට්ටා නොහොත් කරගැට හැදිලා කියන කතාව බොහොම ඉක්මණට ඉස්කෝලේ පුරා ගියා.

“විනීතා මිස්ට ආරංචි වුණාද අර ඇමතිතුමාගේ පස්ස පැත්තේ දියපට්ටා හැදිලා කියන කතාව?“

“ඔව් අනේ සන්ධ්‍යා මිස්..මමත් මුලින් විශ්වාස කලේ නෑ..පස්සේ බැලීනං කතාව ඇත්තනේ..“

“ඒකනේ මිස්..අඩුම ගානේ ටී.වී එකේ පත්තරේ වත් ඕවා යනවා කියලද“

“ඒකත් ඇත්ත..ඒත් අනේ ඒක ඇහුනම මගේ පපුව හෝස් ගාලා ගියා..සතෙක් සර්පයෙක්ටවත් හැදෙන්න ඕන ලෙඩද අනේ ඕව..රෙද්දක් ඇඳන්  කාටවත් කියන්නවත් පුවවන්ද පස්ස පැත්තේ දියපට්ටා නිසා ගල් තෙලඹුත් මතුවෙලා ඇවිදගන්න තියා වාඩි වෙලා ඉන්නවත් බෑ කියලා..“

“ඕවා තමයි මිස් තරාතිරම නොබලා සොබාදර්මේ කරන දේවල්“

දවල් කෑම වෙලාවේ ගුරු විවේක කාමරයේ හැම කෙනෙක්ගේම කටේ තිබුණේ ඇමතිතුමාගේ ලෙඩේ ගැන. ආණ්ඩුවට විරුද්ධ තරුණ පහේ ගුරුමහත්වරුත් මේ ගැන බොහෝ වෙලාවක් කතා කලා.

“ඒකත් මරු ලෙඩක් තමයි නේද බං..“

“ඕවා මචං කරපු දේවල් වලට හම්බවුණ රිටන් තමයි..“

“එහෙම කියන්න එපා බං..මොනවැරැද්ද කරත් මනුස්සයෙක්ට ලෙඩක් හැදුනම අපි ඒ මිනිහට බනින්න නරකයි..විශේෂයෙන්ම මේ වගේ අසාමාන්‍ය ලෙඩක් හැදුනම“

“රට වෙනුවෙන් පාවිච්චි කරලම වෙන්න ඇති මචං ගුණසෝමේ ඔය ඇමතිතුමාට ලෙඩේ හැදෙන්නත් ඇත්තේ“

කොහොම වුනත් පොදුවේ හැමෝම දුක්වුණා ඇමතිතුමාට හැදිලා තියන මේ පශ්චාත් භාගයේ දියපට්ටා මතුවීමේ ලෙඩේ ගැන. ටිකකින් මේ කතාව උප විදුහල්පති තුමාගේ කණටත් ගියා. උප විදුහල්පති තුමා ලිපිගොනුවකුත් අරගෙන විදුහල්පතිතුමා මුණගැහෙන්න ගියපු වෙලාවේ මේ විස්තරේ විදුහල්පතිතුමාටත් කිව්වා.

“සර් දන්නවද අපේ ඇමතිතුමාගේ පස්ස පැත්තේ දිය පට්ටා හැදිලලු..දැන් ඒක නිසා ගල්තෙලඹුත් මතුවෙලාලු..ඔපරේෂන් කරාටත් ගුණයක් නැතිලු..ඒකලු අඩි දෙක තුනක්වත් පයින් යන්න බැරි..අගනගරෙන්ම ලොකු වියදමක් කරලා වාහනත් යන යන තැන ගෙන්න ගන්නේ ඒක නිසාමලු..ඒ වාහන හදලා තියෙන්නේ ඇමතිතුමාගේ ලෙඩේට ගැටළුවක් නොවෙන විදියට කියලා තමයි කතාව යන්නේ..“

විදුහල්පති තුමා උපැස් යුවල ගලවගෙනම කතාවට ඇහුම්කන් දුන්නා. බොහොම කරුණාබර විදුහල්පතිතුමෙක් වෙච්ච එතුමට සත්තකින්ම ඇමතිතුමාගැන මහා දුකක් ඇතිවුණා.

“ඇත්තද පියසිරි..ෂා..ෂ නරක වෙලාව තමයි..මෙහෙම ලෙඩක් තියන මෙතුමා එහෙ මෙහෙ ඇවිදින එකත් හොඳ නෑ..කොහොම වුනත් ඇමති කෙනෙක්නේ. බලන්න ඉතින් සල්ලිවලින් කියලවත් හොඳ කරගන්න බැරි ලෙඩ තියනවනේ..ඉතින් කොහොමද සල්ලි දෙයියන්ගේ මල්ලි කියන්නේ“

විදුහල්පති තුමා බොහොම කණගාටුවුණා. මේ කතාව ඉස්කෝල බිමේ ගස්ගල් පවා දන්න තරමටම ප්‍රසිද්ධ වුනා . මේ අතරේ යොදාගත්තු වැඩ අවසන් කරලා ඇමතිතුමා පරිවාර රථ පෙළ එක්ක නැවත පාසල් පිටියට ආවේ හෙලිකොප්ටරේ නැගලා ආයේ යන්න බලාගෙන.

ඒත් ඒ වෙලාවේ පලාත් ප්‍රධානියා ඇමතිතුමාගේ කණට ලංකරලා කිව්වා පොඩ්ඩක් ඉස්කෝලෙට ගිහින් විදුහල්පතිතුමා මුණගැහිලා කතාකරලා යමු කියලා. ඇමතිතුමත් ඒක පිළිඅරගෙන හෙලිකොප්ටරේට නගින්නේ නැතිව වාහනේ පාසලේ ගොඩනැගිලි පැත්තට හැරෙව්වා. එහෙම කරලා වාහනෙන් බැහැලා පයින්ම ඉස්කෝලේ ඇතුලට සියලුම ආරක්ෂකයින් සහ පිරිවර එක්ක ගොඩවුනා. ළමයි පන්තිකාමරවලින් එලියට ඇවිත්  බලාගෙන හිටියා ඇමතිතුමාගේ පැමණීම. ගුරුවරු පවා එලියට ඇවිත් ආයුබෝවන් කිව්වා ළමයි එක්කම. ඒත් ළමයි මහා සෝකෙන් බලාගෙන හිටියේ අමාරුවෙන් පයින් ඇවිදගෙන එන ඇමතිතුමා දිහාව. ළමයින්ට පුදුම දුකක් දැනුනා ඇමතිතුමාගේ පශ්චාත් භාගයේ දියපට්ටා ලෙඩේ මතක් වෙලා.

ඇමතිතුමත් හැමෝටම ආයුබෝවන් කියාගෙන යනවා, ගුරුවරු ළමයි හැමෝමත් ඇමතිතුමාට ආයුබෝවන් කියනවා. ඒත් ඇමතිතුමාට වෙනසක් තේරුණා හැමෝගෙම මූණුවල, නිකන් තමන් දිහා අනුකම්පාවෙන් බලන් ඉන්නවා වගේ. කවදාවත් මෙහොම වෙලත් නැතිනිසා ඇමතිතුමාට බොහොම සැරට ඒක දැනුනා. මොකෙද හැමතැනදිම දකින්නේ නොඉවසිල්ලෙන් පොරකාලා මහා සතුටකින් තමන්දිහා බලන මූණු තොගයක් මිසක් මෙහෙම මූණු ටිකක් නෙවෙයි නිසා. ඇමතිතුමා කෙලින්ම විදුහල්පතිතුමාගේ කාර්යාලය වෙත ගියා. ඒ ආරංචියට එතකොටත් විදුහල්පතිතුමා කෝට් එකක් එහෙම දාගෙන කාර්යාලයෙන් පිටට ඇවිත් ආයුබෝවන් කියලා ඇමතිතුමා පිළිගත්තා.

“අනේ ඇමතිතුමා...මෙහෙම ලෙඩකුත් තියාගෙන පයින් එන එක හොඳ නෑනේ..මට පණිවිඩයක් එවුව නම් මම එනවනේ හෙලිකොප්ටරේ ලඟටම“

විදුහල්පතිතුමා බොහොම ගෞරවයෙන් කියපු මේ කතාවට ඇමතිතුමාගේ මූණ දෙක වුණා. මොකක්ද බොලේ ඒ හරුපේ. තමන්ට අද දවස පුරාවටම හිස කැක්කුමක්වත් නොහැදුන බව ඇමතිතුමාට විශ්වාසයි. එහෙව් එකේ මේ ප්‍රින්සිපල් කියන කතාව ඇමතිතුමාට අණ්ඩර දෙමළ වගේ.

“ඒකට කමක් නෑ විදුහල්පතිතුමා..මොකක්ද අර ලෙඩක් ගැන කිව්වේ?“

“අහා ඇමතිතුමා..අර ඔබතුමාට හැදුන ජරා ලෙඩේ ගැන තමයි මම කිව්වේ මේ..ඕකට හොඳ ආයුර්වේද බෙහොත් තියනවා ඇමතිතුමා..“

ප්‍රින්සිපල් තටම තටම ආයෙත් කියනකොට ඇමතිතුමාට ටිකක් තරහත් ගියා.

“මොන ලෙඩේද අසිසේ..?“

“ඇයි..අර..ඇමතිතුමාගේ පස්ස පැත්තේ දිය පට්ටා ආපු ලෙඩේ...“



- එන්න අපේ ඉසව්ව Facebook පිටුවට.අලුත්ම ලිපි ගැන දැනගන්න -


19 comments:

  1. මඩ නොගසා මඩ වලින් නෑවීම

    ReplyDelete
    Replies
    1. කලාව මිත්‍රයා...කලාව විය යුත්තේත් ඒකයි මට අනුවනම්

      Delete
  2. හිස අතගා මරු කණේ පාරක්

    ReplyDelete
    Replies
    1. හිස අතගා ගහණ කණේ පහර සැරයිනේ මිත්‍රයා

      Delete
  3. විශිෂ්ඨයි මිත්‍රයා. හැමදාම වගේ. උඹ හෙට අනිද්දට සුදු වෑන් එකක යන එකක් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන එකක් නෑ කියලා හිතෙනවා බං..
      අවි උන්ගේය - බලයත් උන්ගේය - නමුත් ධෛර්යය අපේය

      Delete
  4. අහෝ.. මෙහෙමත් කාලකන්නි..පස්ස පැත්තේ දිය පට්ට එනකන් රටට සේවය කරපු උත්තමයෙක්ට මුන් අපහාස කරන හැටි..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බං..ඒවා හරි කැත වැඩ..රටට සේවයක් කරන්න ගිහින් හැදුන ලෙඩවලට අපහාස කරන්න නාකයි..

      Delete
  5. ඕනේ ටික නියමෙට කියලා , g + එකේ නිතර දැක්කට අදමයි ආවේ මෙහෙ,, දිගටම එන්නම් ,,

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝදරිය..

      Delete
  6. ඒක නෙමේ මට කියාදෙන්න ෆේස් බුක් කොමෙන්ට් දාන ගැජට් එක මෙතනට දාන විදිය ,,

    ReplyDelete
    Replies
    1. http://www.haakblog.com/2013/07/add-facebook-comments-box-for-blogger.html
      මේ පෝස්ට් එක බලාගත්තම වැඩේ ගොඩදාගන්න පුළුවන් වෙයි සහෝදරිය

      Delete
  7. ඊට පහුවෙනිද ඉඳල අර කතාව හදපු ළමයා අතුරුදහන් වුනාය කියන කතාව ඇත්තද?

    දුලාගේ අඩවිය ලියන දුලා

    ReplyDelete
    Replies
    1. ඒවා කියන්න බෑ මිත්‍රයා..මේක ලංකාවනේ..හැබැයි ළමයට කලින් ප්‍රින්සිපල් නම් අතුරුදහන් වීමේ ඉඩකඩ වැඩියි

      Delete
  8. හරිම රසවත් මිත්‍රයා! ගොඩක් රස වින්ඳා! ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මිත්‍රයා

      Delete
  9. රටට සේවය කරලා මෙහෙම ලෙඩක් හැදුන මනුස්සයෙක්ට මෙහෙමත් අපහාස කරනවද? හෙලා දකිනවා සම්පූර්ණයෙන්ම..

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත බං..මමත් තරයේම හෙලා දකිනවා

      Delete
  10. Nice work see http://tiny.cc/i659ax

    ReplyDelete