සිසුරුගේ කෑගැහිල්ලට ඊට ඉස්සරහ පිටබැද්දර ගෙදර දුමින්ද අයියා නාන්න යන ගමන්ද කොහොද බාල්දියත් අතේ අරගෙනම එළියට ආවා. ගුණසිරි අංකල්ගේ හාමිනේ විතරක් නෙවෙයි තව අහල පහල කීපදෙනෙක්ම ගෙවල් වලින් එළියට ඇවිත් සිද්ධිය බලාගෙන හිටියා. කට්ටිය එහෙන් මෙහෙන් වට වෙනකොටත් සිසුරු කෑගහනවා.
“අයියෝ බං මිතුලයා..උඹ මෙහෙම හදිසි අනතුරකින් මැරෙන්න හිටපු එකෙක් නෙවෙයි බං..ඊටත් වඩා මේ හරියට පයින් යන්නවත් බැරි කෙල්ලෙක්ගේ බයික් එකට යටවෙලා මැරෙන්න හිටපු එකෙක් නෙවෙයි බං..මොනතරම් නින්දාවක්ද බං උඹට මේ වුනේ..අනේ අයියෝ “
කට්ටිය එහෙන් මෙහෙන් මතුවෙද්දි සංකලනි ස්කූටියේ ස්ටෑන්ඩ් එකවත් ගහන්නේ නැතුව බයක් එක බිම අතෑරලා මිතුල වැටිලා හිටපු තැනට ආවා. කෙල්ල බය වෙච්ච තරමට දාඩිය බේරෙනවා, ඉකි ගහ ගහ ඇඬෙනවා..කොච්චර තද හිතක් තියන කෙල්ලෙක් වුනත් අනුන් වැරදි කරාම කඩු පොලු උස්සගෙන ගියාට තමන් වැරැද්දක් කරාට පස්සේ පූස් පැටියෙක් වගේ අඬන එකනම් කෙල්ලන්ටම පොදු අනන්‍යතාවක්. කට්ටිය වැඩිවෙද්දි මෙච්චර වෙලා බොරු එහෙත් සාර්ථක රංඟනයක නිරතවෙලා හිටපු මිතුලගේ බාගෙට වහගෙන හිටපු ඇස්දෙකට වැඩිවෙන සෙනග පෙනුනා. තවත් රංගනේ නිරතවුනොත් මේ පාරත් ඇණගන්නේ තමන්මයි කියලා තේරුම්ගත්ත මිතුල හෙමින් සිසුරුට පයින් ඇන්නා. එතකොටම නිකන් සේරම තේරුණා වගේ සිසුරුත් තමන්ගේ අඳෝනාව නවත්ත ගත්තා. මිතුල ඇස් ඇරලා අමාරුවෙන් වගේ බිම වාඩිවුණා. පස්සේ අතපයේ වැලි පිහිදාගත්තා. මිතුලගේ වැලමිට තුවලා වෙලා ටිකක් ලේත් ඇවිත්.
“අයියට අමාරුද අයියේ...?“
සංකලනී බොහොම පරාජිත හඬකින් ඇහුවම මිතුලගේ හිත ඇත්තටම උණුවුනා. තමන්ට මෙච්චර දවස් දරුණු වචනවලින් පාට් දාගෙන හිටපු කෙල්ල මෙතන කොච්චර අසරණ වෙලාද කියලා මිතුලට දැනුනා.
“අමාරුද...යකෝ යහතින් පාරේ යන මිනිහෙක් හප්පලා අමාරුද කියලා අහනවද..මම හිතන්නේ මිතුලයගේ සිහි කල්පනාව නැතිවෙලා...හරියට අර ඉන්දියන් මෙගාවල මගේ මූ කෝමා තත්වෙට පත්වෙන්න යනවද කොහෙද“
සිසුරු සංකලනිට කෑගහලා තවත් අසරණ කරද්දි මිතුල ආයෙත් සිසුරුට පයින් ඇන්නා. සිසුරු කට වහගත්තා.
“නෑ නංගි එච්චර අමාරුවක් නෑ..ටිකක් කම්පනේටද කොහොද එක පාරටම නැගිටින්න බැරිවුනේ..දැන් හරි..“
සංකලනිට ඒ වචන ටික ඇහුණම හිතට ලොකු සැනසිල්ලක් ආවා.
“මල්ලි අවුලක් නෑනේ..“
දුමින්ද අයියා ඇහුවා. මිතුල ඔලුව වනලා නෑ කියලා හිටගත්තා. එතකො බොහොම උද්වේගකර චිත්‍රපටයක අවසානය බලාපොරොත්තුවෙන් හිටපු ගමේ මිනිස්සු එකා දෙන්නා ආයෙත් ගෙවල් වලට රිංගන්න ගත්තා.
සංකලනී තවමත් දාඩිය බේරි බේරි මිතුල දිහා බලන් හිටියා. මිතුලගේ අතින් ලේ ගලනවා සංකලනී දැක්කා.
“ඔය..අතින් ලේ එනවා නේද..යමු අපේ ගෙදරට බෙහෙත් ටිකක් දාන්න..අනේ මට සමාවෙන්න අයියේ..මම තාම මේ බයික් එක පුරුදු වෙනවා..හරියට බ්රේක් අහුවුනේ නෑ මෙතනදි..“
මිතුල බොහොම දයාබරව සංකි දිහා බැලුවා. සංකලනිගේ ඇස් දෙක මිතුලගේ ඇස්දෙකේ ඇඳිලා තිබුණා.
“අපි කාගෙත් අතින් වැරදි වෙනවා නංගි...ඒ හැම වැරැද්දක්ම හිතලා කරන ඒවා නෙවෙයි..මම ගෙදර ගිහින් බෙහෙත් ටිකක් දාගන්නම්..කමක් නෑ නංගි..“
එහෙම කියලා මිතුල යන්න හැරෙද්දි සිසුරුවා මූණෙන් අප්‍රසාදය පලකලේ ලැබුණු අවස්ථාවෙන් මිතුලයා ප්‍රයෝජනයක් නොගත්ත එකට. ඒත් මිතුලගේ හිතේ වැඩකලේ වෙනමම සැලැස්මක්. යන්න ගියපු මිතුල ආයෙත් ආවා බයික් එක කෙලින් කරගෙන ආපහු තල්ලුකරගෙනම යන්න හදන සංකි ලඟට.
“නංගි..එදා මගේ අතින් වැරදීමකින් පෙරලුන බාල්දියේ තරහා මේකෙන් අහෝසියි හරිද?“
මිතුල එහෙම කිව්වම සංකිට හිනායන්නත් ආවා. ඒත් ඒ හිනාව පිටට පනින්න දුන්නේ නෑ.
“ඔයා මහ අවස්ථාවාදියෙක්..“
සංකලනි එහෙම කිව්වම මිතුලටයි සිසුරුටයි දෙන්නටම හිනා ගියා.
“වෙලාවට මට ත්‍රස්තවාදියා නොකිව්වේ..“
ඒ කතාවට හිතින් හිනාවෙමින් සංකලනී ගෙදරට යන්න හැරුනේ හිත මොකක්දෝ අනියත හැඟීමකින් පිරවෙද්දි.
* * * * *
බයික් එක හැප්පුණ සිද්ධියෙන් පස්සේ සංකලනී බයික් එක එළියටවත් ගත්තේ නෑ. ගමේ කණින් කණ කතාව ගිහින් තිබුණ නිසා කඩේට එහෙම යද්දි හින්ට් එහෙමත් ඇහුනේ නැත්තෙම නෑ. ඒත් සංකලනී ඕවා ගණන් ගන්න කෙනෙක් නෙවෙයි.
සංකලනී හවස ටී.වී එක බල බල ඉන්න කොට සංකලනිගේ අයියා ගෙදරට ආවා. අයියා ටිකක් අමුතු කෙනෙක්, ඒත් සංකලනිට ගොඩක්ම ආදරේ කලේ අයියා. පොඩි කාලේ ලෙඩක් දුකක් හැදුනත් සංකලනිට කැව්වෙත් අයියම තමයි. තමන්ගේ නංගිගේ හැමදෙයක් ගැනම අයියා හොයලා බැලුවේ තමන්ගේ වගකීමක් විදියට.
“අහා මොකද මේ කොට්ට බදාගෙන ටී.වී එක කන්නේ..?“
“කව්ද අනේ ටී.වී කන්නේ..“
අයියා කොට්ටෙකින් ඔලුවට ගහලා අහපු එකට සංකි උත්තර දුන්නා. අයියා සංකි ඉස්සර පුටුවකින් වාඩිවෙලා සංකි දිහා බැලුවා. එහෙම තමන්ගේ ඉස්සරහින් අයියා වාඩිවෙන්නේ මොකක් හරි වැදගත් දෙයක් අහන්න ඕන උනාම කියලා ඉවෙන් වගේ දන්න සංකිගේ හිත ටිකක් කලබල වුනා.
“සංකි..මොකක්ද අර ඔයා කොල්ලෙක් හැප්පුවා කියන කතාව පාරෙදි බයික් එකට..තාම ලයිසන් එක ගත්තෙත් නැතුව ඔහොම හප්පනවනම් ලයිසන් අරන් පාරේ යන්නේ කොහොමද..“
සංකි දැනගත්තා එදාම අයියගේ කණට මේ සිද්ධිය ඉක්මණින් යනවා කියලා. සංකලනී ඒකට උත්තර හදාගෙනමයි හිටියේ.
“මගේ වැරැද්දකින් නෙවෙයි හලෝ..ඒ කොල්ලා වෙන සිහියකින් පාරේ ගියේ..මම ගෙදර ඇවිත් අම්මටත් කිව්වා..“
අයියා හීන් හිනාවක් දාලා සංකිගේ දිහා බැලුවා. තමන්ගේ නංගි මෙච්චර ලොකු කෙල්ලෙක් වුනාට තමන්ගේ කරේ නිදාගත්තා කෙල්ල නේද කියලා අයියට මතක්වුනා. හැමදේම කාලෙත් එක්ක ගොඩක් වෙනස්වෙලා.
“ආ..දැන් කොල්ලෝ කැමැත්තෙන්ම ඇවිත් ඔයාගේ බයික් එකට පනිනවද..එහෙනම් නරක නෑ තාත්තා අලුතෙන් හොයාගත්ත ගම..“
ඒ කතාවට සංකලනිටත් හිනායන්න ආවා..
“හැමකොල්ලම පනින්නෑ අයියා..එකෙක් තමයි පනින්නේ..“
සංකලනිට නොහිතම ඒ දේ කියවුනා. ඒත් කියවුනාට පස්සේ තමයි කතාවේ බරපතල කම තේරුනේ. අයියත් පුටුවේ ටිකක් ඉස්සරහට ඇවිත් විමසිල්ලෙන් බැලුවා.
“එකෙක්..?? ඒ කව්ද ඒ?“
- මීලඟ කොටස මෙතනින් -
අපේ ඉසව්ව Facebook පිටුව
ෆට්ට..... සුපර්..... ඉතුරු ටිකත් ඉක්කණටම දැම්ම නං
ReplyDeleteබොහොම ස්තූතියි මිත්‍රයා..සඳුදා පහුවෙද්දි ඊළඟ කොටස දානවා
Deleteහුටා, අයියලා එක්ක මේවා කියන්න යන එක එච්චර හොද දෙයක් වෙන එකක් නෑ.. විශේෂයෙන් මිතුලයගේ චර්‍යාවත් එක්ක.. බලමුකෝ..
ReplyDeleteඒක නෙමෙයි මොකෝ බං පොඩ්ඩක්..
වැඩිය ලියන්න උනේ නෑ බං..අත්දැකීමෙන් කියන්නේ සහෝදරයෝ එක්ක ලව් පලහිලව් ගැන කතාකරන්න හොඳ නෑ..උන් හරි දරුණුයි
Deleteade okkoma eka husmata kiyeewa.. ikamanata anith tikath dapiya
ReplyDeleteඅනිවාර්යයෙන්ම මචං
Deleteයකෝ මේක ලියාපංකෝ වද දෙන්නේ නැතිව
ReplyDeleteko meke ithuru eeva :O
ReplyDelete