Dec 11, 2010

සසුන පුදසුන මත දැල්වූ පහන් ටැඹ......

වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්..වාරියපොල සුමංගල හිමියන්..මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්..කුඩාපොල හිමියන්..කිතලගම සීලාලංකාර හිමියන්(දිඹුලාගල හාමුදුරැවෝ) යනු අපේ ර​ටේ ජාතික ආගමික ​පිබිදුමට අනූපමේය දායකත්වයක් ලබාදුන් යතිවරයාණන් වහන්සේලාය..සැබවින්ම උන්වහන්සේලා ගණින්නාන්සේලා අතර සැබෑ බොදු ස්වාමීන්වහන්සේලා විය. මීට සය වසරකට පෙර හදිස්සියේ අපේ රට ජාතියෙන් උදුරාගනු ලැබූ පූජය ගංගොඩවිල සෝම හිමියන් නොහොත් අපේ සරල වදනින් ​සෝම හාමුදුරැවෝද අයත්වන්නේ පෙරකී යතිවරයාණන් වහන්සේලා අතලොස්ස අතරටමය

දෙසැම්බර් 12 වැනිදා සිහිවන විට අපට උන්වහන්සේගේ නික්මයාම නිතැතින්ම සිහියට නැගේ. මීට සයවසකට පෙර මුලු රටක් ශෝකයෙන් හොවා( මූලධර්මවාදී පාපිෂ්ටයන් අතලොස්සක් හැරෙන්නට) උන්වහන්සේ අප අතරින් සදහටම වෙන්විය. සෝම හිමියන් ජාතිය ආගම නැගුමට කල මෙහෙවර සිරිලක් වැසියන් ඉතා හොදින්ම දන්නා බව නොරහසකි. අදුරෙන් එළියට බොදු ජනයා ගෙන ඒමට උන්වහන්සේ අපමණ වෙහෙසක් ගත්හ.

දේව සංකල්පයන් දැඩිලෙස විවේචනයට ලක්කල උන්වහන්සේ ඉතා සෘජු ලෙසම ඒවාට පහර පිට පහර දුන්හ. බොදු බැතිය යන්නෙන් අන්ධානුකරණය යන සංකල්පය ඉවත් කිරීම හා විවිධ මිථ්‍යාදෘශ්ටික ඇදහීම් වලට යොමූවී සිටි නොදැනුවත් බොදු ජනතාව ඉන් ගලවා ගැනීමට උන්වහන්සේ රටපුරා ධර්මය රැගෙන යමින් නූතනයේ ධම්මපාලතුමාගේ කර්තව්‍යය සිදුකලහ.

නිරතුරැවම මාධ්‍ය මගින් මෙන්ම පුවත්පත් සහ කාලීන ධර්ම සාකච්ඡා පවත්වමින් ආගමික හා ජාතික උන්නතියට අපමණ මෙහෙයක් උන්වහන්සේ සිදුකලහ. ජනවිජය පදනම මගින් නොයෙක් ආකාරයේ ධර්ම කර්තව්‍යයන් සිදුකල අතරම අන්‍යාගමිකරණයට දැඩිලෙස විරැද්ධ පිළිවෙතක් දැරෑ සෝම හිමියන් එයට එරෙහිව සෘජුව නැගී සිටියහ. අවසානයේ උන්වහන්සේගේ මරණයටද එයම හේතුවක් වූ බව රහසක් නොවේ.

බොදුජනතාවට හා රටට දැයට හිතැති ජනතාවට උන්වහන්සේ පරමාදර්ශී වීර හිමිනමක් වූවත් මූලධර්මවාදී පාපිෂ්ටයන්ට නම් උන්වහන්සේ වහකදුරැ මෙන් විය. උන් වහන්සේගේ තිර අධිෂ්ඨානය වූයේ කෙදිනක හෝ මේ ගෝතම බුද්ධ රාජ්‍යයේ දහම් පහන් දල්වමින් එය ලොව පරමාදර්ශී බොදු රාජ්‍යයක් බවට පත්කිරීමයි. රටේ ජනතාව ඒ සදහා සෝම හිමියන් වටා එක්රොක්වුණි. නමුත් ​වෛරී බලවේග ඒ සදහා ඉඩ ලබා නොදුන්හ. රහසේ සිදුකෙරැණු සිදුවීම් මාලාවක ඵලයක් ලෙසින් උන් වහන්සේ අපට අහිමි විය.

ලක් මාතාවට එඩිතර පුතෙක් නැතිවිය..ලෝකයට පරමාදර්ශී බොදු හඩක් නැතිවිය..අදුරෙන් එළියට එන්නට පාර කියන දහම් පොතක් අහිමි විය..බොදු සසුන් පුදසුන මත දැල්වුණු දහම් පහන් ටැඹ නිවී ගියහ...

මේ සෝම හිමි සැමරැම් මාසයයි..උන්වහන්සේ අපට පැව​සූයේ ලොව්තුරැ බුදුහිමියන්ගේ ධර්මස්කන්ධයයි..එමග යමින් පිළිවතින් බොදු සිත දියුණු කරමින් පවිටු අදුරැ සෙවනැලි වනසාලමින් සෝම හිමියන් පැතූ බොදු රාජ්‍යය ගොඩනැගීමට පිළිවෙතින් සැරසෙමු...

දැයම පුබුදුවාලූ ඒ නිමල ස්වරය...අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ට නිර්වාණ සුවය සාක්ෂාත් කරගැනීමට ලැබේවා යන්න අපේ ඉසව්වේ පැතුමයි....!!!!


ධනුෂ්ක කාලිංග මඩවල ලියනගේ








No comments:

Post a Comment