Oct 20, 2011

ගඩාෆිට සිදුවූ දෙය ලංකාවේ සිදුනොවෙන්නට නම්...

මේ සමය ලෝකයේ සදාකාලික නායකයින් ලෙස විරාජමාන වූ නායකයන්ට එතරම් සුබ කාලයක් නොවන බව දැන් දැන් වඩාත් පැහැදිලිව පෙනෙන්නට ඇත. ඊජිප්තුව දෙසින් හමා ආ බටහිර උෂ්ණය ගැබ්වූ විප්ලවකාරී මහජන ශක්තිය නම්වූ සුළඟ විසින් ලිබියාවද කළඹා දැමූ අතර අද එහි කූටප්‍රාප්තිය සිදුවිය. එනම් දශක හතරක් මුළුල්ලේ ලිබියාවේ නොසැලෙන හා නොනැමුණ නායකත්වය ලෙසින් කිරුළ දරා සිටි කර්නල් මොහම්මත් ගඩාෆිගේ ඝාතනයයි. ලිබියා ජනතා කැරැල්ල ජයග්‍රහණය එලෙසින් අවසන් වෙද්දී මුසල්මානුවන් පිරිසක් විසින් තමත් මුසල්මානුවෙක් ඝාතනය කර දැමුවා මෙන්ම එය සැමරුවා යන්නද ඉස්මතුව පෙණිනි. නමුත් ඒ කැරළි කරුවන්ගේ හැසිරීම් හා ඔවුන් සටන්වැදි ආකරයෙන් නිතැතින්ම ඉස්මතුව පෙනුනේ දශක ගණනාවක් මුළුල්ලේ ලිබියාව ලෝකයට කොතරම් ශක්තිමත් හා සෞම්‍ය රාජ්‍යයක් ලෙස පෙනුනද අභ්‍යන්තරයේ ජනතාව කොතරම් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා පීඩනයකට ලක්ව සිටියේද යන්නය.


ඕනෑම දෙයක් කල්යත්ම එහි අගය අඩුවනවා යන්නට භාවිතාමය නිදසුන් තබන්නට ගඩාෆිගේ පාලනය උදාහරණ ලෙස දිය හැක. ජනතාවට ගඩාෆි ගැලවුම්කරුවෙක් වූ සමයක් තිබුණි. ඔහු ලිබියාවේ මිනිස් වෙසින් පැමිණි දෙවියන් ලෙස ඇදහූ යුගයක් තිබිණි. 70 හා 80 දශකයන්හි ලිබියාවේ පමණක් නොව මැදපෙරදිග අරාබිකරයේ පවා ගඩාෆිට එදිරිව වචනයක් කිව නොහැකි තරමට ජනබලය ඔහු කෙරෙහි ප්‍රබල විය. නමුත් ගඩාෆිට වරදින්නේ බල තන්හාව හිස්මුදුන ස්පර්ශ කරමින් ශරීරයේ රෝම කූපයක් පාසා වර්ධනය වීමත් සමගය. බලය වෙනුවෙන් ඔහු නොමනා ක්‍රියා දහස් ගණනක් කරමින් එයා ලෝකයෙන් වසන් කලහ. ප්‍රජාතන්ත්‍රවාදය වලලාදමා ඒකාධිපතිත්වය වගා කිරීම, විකල්ප ප්‍රතිපත්ති මතින් නැගී සිටින නායකයන් රහසේ ඝාතනය, මාධ්‍ය හා දේශපාලනික නිදහස නින්දිත ලෙස අහිමි කිරීම වැනි කාරණා මගින් පියවරෙන් පියවර ලිබියාවේ ජනතාවට ගඩාෆි තිත්ත කෝපි  බවට පත්විය. අද පුපුරා අවසන් වූයේ ඒ නැගුනු ජනතා අප්‍රසාදයේ විස බිබුලයි.

අපි මෙය ලංකාවට ආදේශ කරන්නේ කරුණු කීපයක් මතයි. ඒ මන්ද ලිබියාවේ වූ වා සේ කිසිඳු විටක බටහිර හෝ වෙනත් රාජ්‍යක මැදිහත් වීමක් මේ රටට සිදුනොවිය යුතු නිසාත් සහ ගඩාෆි තිත්ත වූ සාධක ලංකා භූමිය තුල කිසිඳු නායකයෙක් අතින් සිදුනොවිය යුතු නිසාය. නමුත් වත්මනේ රට යන්නේ ඒ දුෂ්ට සුළඟ දෙසටම නම් එයට වහා පියවර ගැනීමද නායකයන්ගේ වගකීමය. අදටත් අප ගරුකරන අපේ කාලයේ නායකයානන් ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් එම තැනම රැඳී සිටී. ජනතා ඡන්දයෙන් සාධාරණ ලෙස මැතිවරණ ක්‍රමයේ ජනතා මතය මත රැඳී සිටිමින් අතිමහත් ජනතා ප්‍රසාදයකින් දෙවතාවක්ම බලයට පැමිණෙන්ට තරම් ඔහුට ජනප්‍රසාදය හිමිවිය. නමුත් ගඩාෆි පත්වෙන්නේ මිලිටරිමය කැරැල්ලක ප්‍රතිඵලයක් ලෙසය. නමුත් ජනතා ඡන්දයෙන් පත්වූ මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඉන්පසු ජනතා මතය කැඩී බිඳීයාමට තුඩුදෙන සිදුවීම් ගණනාවකට සම්මාදම් වීම අභාග්‍යයකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජවිපෙ ප්‍රමුඛ වාමවාදී හා මධ්‍යස්ථ පක්ෂ ගණනාවක එකතුවක් වූ සන්ධානයේ පදනම් මුලින්ම යම් දෙදරීමක් වන්නේ ජවිපෙ වෙන්වීමත් සමගය, නමුත් එය සංඛ්‍යාත්මක අතින් අල්පය. ඒ මන්ද ජවිපෙ කොටසක් හා එජාපයේ කොටසක් ජනපතිතුමන් ප්‍රමුඛ රජය සමග රැඳීමයි. දෙවැනි ප්‍රබල දෙදරීම වන්නේ ජෙනරාල් ෆොන්සේකා මැතිවරණයට පැමිණීම හා ඔහු සිරගත කිරීමයි.

 මෙහිදී තවත් රටේ මධ්‍යස්ථමතදාරීන්ව සිට ජනපතිතුමන්ගේ චින්තනයට හදවතින් දායකත්වය දැක්වූ පිරිස ඉන් ඉවත්ව යාම හා වෛරීය දේශපාලනික සිතුවිල්ලක් ගොඩනගාගැනීමයි. එහි බරපතල කාරණය වන්නේ රටේ බුද්ධිමය පරම්පරාව නියෝජනය කරන ගණනාවක් මේ අතර සිටීමය. ඉන්පසු දෙදරීම වන්නේ බලතල සහිත් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ධූරකාලය දික්කරගැනීම හා ස්වාධීන රාජ්‍ය කොමිෂන් සභා බලාත්මකව තිබූ ඒවා බලරහිත විම හා අත්‍යවශ්‍ය කොමිසම් ක්‍රියාත්මක නොවීමයි. මෙයින් රටේ නීතිගරුක හා ප්‍රජාතන්ත්‍රවාදය අගයන් පිරිස් රජය ගැන හා ජනාධිපතිතුමන් ගැන තිබූ මතය ඉවත දමා වෛරීය ලෙසින් ඉවත් විය.

ඉන්පසු සිදුවූ දැවැන්තම දෙදරීම සිදුවන්නේ පසුගිය 8 වැනිදා සිදුවූ භාරත ලක්ෂ්මන් ඝාතනයත් සමගය. එනම් මැරයන් හා කුඩුකාරයන් දේශපාලකයන් වශයෙන් බස්සවා කරන විගඩම් ඉවසාගත නොහැකි පාරම්පරික වමේ බල කණු පවා කළකිරීමකින් යුතුව පස්සට පය තැබීමයි. මෙහි භයානකම තත්වයනම් රජය තුල සිටි ප්‍රබලයන් පවා මෙයින් කළකිරීමට පත්වීමයි. මෙවැනි සිදුවීම් රාශියක් මත රජය හෙලවෙන දතක් බවට පත්වීම කෙලෙසකවත් සංවර්ධනය වන රටකට හොඳ ලකුණක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම, ස්වාධීන කොමිෂන් සභා බලාත්මක කිරීම, රටේ ස්වාධීනත්වයට ඉහල අගයක් ලබාදෙන 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම වැනි කාරණා මගින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය නැවතත් සක්‍රීයකල හැක.

එසේම අල්ලස් හා දූෂණ මෙන්ම මැරකම් මුලින්ම රජයෙන් හා පාර්ලිමෙන්තුවෙන්ද,පසුව රාජ්‍ය අමාත්‍යංශ මෙන්ම අනෙකුත් රාජ්‍ය ආයතනවල සිටන් පලාත් සභා,පලාත් පාලන ආයතනවල සිට කුඩා ග්‍රාම සංවර්ධන සමිතය දක්වා තුරන් කර පලවා හැරිය යුතුය. එවිට නිදහස යන සංකල්පයට නියම අරුතක් ලැබෙනවා ඇත. නොඑසේනම් කොතරම් කොන්ක්‍රීට් ගොඩවල් බිහිකරත්, ජාත්‍යන්තර උළෙල පැවැත්වූවත්, මහා සංදර්ශන හා ප්‍රදර්ශන පැවැත්වූවත් සංවර්ධනය යන පිරුණු කලයේ සිහිනය දැකීමට දැවැනත් හිල් තිබියදී නොහැකිය. සංවර්ධනයේ මාවතේ පවතින බාධක ඉවත් කල යුතුය.

බල තන්හාවෙන් හා උපදේශකයන්ගේ එහෙයි ප්‍රවාදයන්ට අනුව ක්‍රියාකලහොත් හෙට දවසේ ලංකාව තුල ලිබියාවේ ශාඛාවක් බිහිවීම වැලැක්විය නොහැක. එසේ නොවන්නටනම් ඉහත දේ සිදුවිය යුතුමය. නොඑසේනම් බටහිර බලපෑම් හා ඊනියා බලවේග මත ජනතාව නැගීසිටීම හෝ නැත්නම් සැබෑ ලෙස ජනමූල විප්ලවයක් බිහිවීම නතර කල නොහැක. මෙම සටහනේ අගට නන්දා මාලනී විසින් ගායනා කල සොඳුරු මෙන්ම යථාර්ථවාදී ගීතයක කොටසක් තැබීම වටී.

පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ
ලෝකයමයි හෙට
ඔබට එරෙහිවී 
නැගිටින්නේ...

මෙම පදවැල එදාට සේම අදටත් ගැලපෙන්නකි. ලිබියාවේ සිදුවූයේද මෙයමය. මෙය ලංකාවේ සිදුවනු දැකීම අප කෙසේවත් අපේක්ෂා නොකරන්නකි. නමුත් එසේ නොවීමටනම් පූජාසනයේ බලය හා ජනතා බලය අවබෝධකර ගතයුතුමය.

10 comments:

  1. කතාව ඇත්ත...

    "පූජාසනයේ ඔබ හිඳුවා
    ඔබට පුදන මේ
    ලෝකයමයි හෙට
    ඔබට එරෙහිවී
    නැගිටින්නේ..."

    හිතට වැදුනා

    ReplyDelete
  2. හික් හික් . . . 17වෙනි සංශෝධනේ මට දැනෙන විදියට නං කවදාකවත් ක්‍රියාත්මක වෙන එකක් නෑ . . . . මේ ආණ්ඩුව නං කීයටවත් ක්‍රියාත්මක කරන්නෙ නෑ

    ReplyDelete
  3. කතාවත් එක්ක මමත් එකගයි.. ජනාධිපතිතුමාට මමත් කැමති උනත් එතුමාගේ සමහර දේවල් මම ප්‍රතික්ශේප කරනවා..

    ReplyDelete
  4. මේ තරම් වැරදි වැඩ කරන...කුඩුකාරයෝ... පාතාලයෝ....ස්ත්‍රී දුෂකයෝ... මිනීමරැවෝ වටකරගෙන කවදාවත් පාලකයින්ටවත් රටකටවත් ඉදිරියට යන්න බැහැ... තමන්ගේ ලඟ ඉන්න මිනිස්සු තමන්ව විකුනමින් චන්ඩිකම් කරනකොට ඇහැ කණ පියාගෙන ඉදීම තුල වෙන්නේ සංවේදී නායකයාගේ සංවේදීභාවය පිළිබඳ ජනතාවට වැටහීමය...තවමත් මේ ආණ්ඩුව පවත්වන ඡන්ද දිනන්නේ ආණ්ඩුවට ජනතාව කැමති නිසා බව සිතීම අණුවනකමකි..තවමත් අපි රටට පැහැදිලි විපක්ෂයක් නැත මේ විජයග්‍රහනයන්ට හේතුව බව රජයේ උපදේශකයන් තේරැම් ගතයුතුය...

    ReplyDelete
  5. වටිනා අදහස්. මේක ඉතින් අපි කියෙව්වාට මදි. වගකිවයුත්තන් කියවිය යුතුයි.

    ReplyDelete
  6. වටිනා පෝස්ට් එකක් සහෝ... මේක ගොඩ දෙනෙක්ගේ ඔළුලවට යනවා නම් හොඳයි. ඒත් ඇත්ත තේරුම් ගන්න කී දෙනෙක්ට පුළුවන් වේවිද ? ඇත්තම කිව්වොත් මගේ හිතේත් ජනාධිපතිතුමා ගැන තිබුණු විස්වාසේ දැන් නෑ. අනෙක් ගොඩක් දෙනෙක්ටත් එහෙම කියලා මම දන්නවා. මෙහෙම ගිහින් මේක කළකිරීමකට හැරිලා ලිබියාවේ වුනා වගේ වෙන්නත් පුළුවන්. එහෙම වුනොත් ඒ ‘ශ්‍රී ලංකාවේ‘ අවසානය !
    එහෙම නොවේවා කියලා සුභවාදීව හිතමු. අපිට වෙන කරන්න දෙයක් නෑ.

    ReplyDelete
  7. හැමෝටම ගොඩක් ස්තූතියි..මෙම ලිපිය ලිවීමේ අදහස වුණෙත් එවැනි සිදුවීමක් ලංකාවේ නොවන්නට කරුණු සිදුකල යුතු ආකාරය ගැන මතයක් ගොඩනැගීමටයි. ගඩාෆිට පුද්ගලිකව මම කැමති වුනේ හතුරාගේ හතුරා මගේ මිතුරාය යන් සංකල්පය නිසාය..

    ReplyDelete
  8. අම්මේ සහතික ඇත්ත සහෝ..
    හර බර ලිපියක් නොවැ..මම දෙක පාරක්ම කියෙව්වා...

    ReplyDelete
  9. බොහොම ස්තූතියි යාළුවා..අපි ලිවිය යුත්තේ හරබර නොවුණත් රසබර හා වැදගත් දේ පමණයි..

    ReplyDelete
  10. මේ රටේ අද සිදු වන සියළු දේට වග කිව යුත්තේ ජේ ආර් ගේ ව්‍යවස්ථාවයි. අනුපාත චන්ද ක්‍රමය තුල අප ප්‍රාර්ථනා කරන බුද්ධිමතුන්ට තැනක් නෑ. රටේ ස්ථාවර ආණ්ඩුවක් පවත්වාගෙන යාමට කුඩු මුදලාලිද, මංකොල්ලකාරයද, චන්ද පහකින් පත් වී ආ අයද, මාක්ස්වාදියාද, ධනවාදියාද, නියම ප්‍රජාතන්ත්‍රවාදී කොටස්ද එකට තබාගෙන් ආණ්ඩුව කල යුතුය. මෙය එසේ මෙසේ නායකයකුට කල නොහැක. චන්ද්‍රිකා මහත්මියට එය කල නොහැකි විය. එහෙනම් කාට මෙය කල හැකිද ? පේන මානයේ එවැනි දේශපාලන නායකත්වයක් නොදැක අපි ඉන්නා එකම කෙනා දෝෂ දර්ශණයට ලක් කිරීම් කෙතරම් ප්‍රඥාගෝචර ක්‍රියාවක්දැයි නොදනිමි. මොහොතකට මහින්ද රාජපක්ෂ මහතා ගෙදර ගියා යයි සිතමු. බාර ගන්නට ඕනෑතරම් අය සිටියත් කරන්න ගියහම එය ලෙහෙසි පහසු කටයුක්තක්දැයි සිතා බලන්න. අද ජනාධිපතිතුමා කාටවත් දොස් නොකියා එන සියළුම ප්‍රශ්ණ වලට තනියම වගකීම බාර ගැනීමම ප්‍රමාණවත් නොවේද ?

    මම කියන්නේ ප්‍රශ්ණයෙන් ප්‍රශ්ණයට විවේචන ඉදිරිපත් නොකර, මේ සියල්ල එකට කැටි කොට සිතන ලෙසයි.

    ශ්‍රීලංකාවට ගැලපෙන රත්‍රන් නීති දෙක

    1. මේ සියල්ලට හේතුව ජේ ආර් ගේ ව්‍යවස්ථාවයි.
    2. ජේ ආර් ගේ ව්‍යවස්ථාව හරි යයි ඔබට සිතේ නම් නීති අංක එක බලන්න.

    ReplyDelete