Professional Type Settings Sinhala/English/Tamil via Internet Just For Rs.60/= Call now - 076-999 57 51

Oct 4, 2011

හමුවුණා..අනේ හමුවුණා - 11 වැනි කොටස

පසුගිය කොටස් 1  2  3  4  5  6  7  8  9  10
****************************************
හිතේ තිබුණු නිදහස කොහේදෝ පාවෙලා ගිහින්. හැමදෙයක්ම වෙනස් වෙන්න පටන් අරගෙන. මේ සිතුවිලි ගංගාව කොහේ ගිහින් කොහේ නතර වෙයිද කියලා හිතාගන්නත් බැරි තරම් සංකීර්ණ වෙලා. ජීවිතේ ආදරේ කියන දේ ගොඩක්ම ළඟට ඇවිත දුරට ගියපු වාර අනන්තයි. ඒත් ඒවට කවදාවත් සැලුනේ නැති මහමේරුවක් වගේ හිටපු මගේ හිත අද පුංචි හුළඟටත් වැනෙන විදියට වෙනස්වෙලා.

 ඉරුදිකා හුළඟක් වගේම මගේ ජීවිතේට ඇවිත් හිතට මහා දුකක් ඉතිරි කරලා යන්න හදනවා. එයාට යන්න දුන්නොත් කවදාවත්ම මගේ හිත මට සමාව දෙන එකක් නෑ.

  මම උදේම හිතාගත්තු විදියටම ඉරුදිකාගේ ගෙදරට ආයෙත් යන්න පිටත් වුණා. අම්මටත් කිවවා යන ගමන ගැන. ඉරූගේ ගෙදර අය මොනවා කියයිද කියලා හිතේ අදහසක් තිබුණේ නෑ ඒත් මට ඕන වුනේ ඉරුදිකා වෙනුවෙන් කව්රු නැතිවුණත් මම ඉන්නවා කියන එක කෑගහලා ඒ අයට කියලා දෙන්න. ඒ වගේම දවස් ගාණක් තිස්සේ නොදැකපු ඉරූගේ රත්තරන් මූණ බලලා ටිකක් හිත හදාගන්න. ඒ මූණ දැක්කත් ඇති මගේ ජීවිතේම මගෙන් ඈත් කරන්න.

  හිස් අතින් යන්න හිතට මදි හින්දා වෙලේවත්තේ නිව් නෙප්චූන් එකෙන් බිස්කට් එකක් අරගත්තා. මේ වගේ වෙලාවක ගෙනියන් ඕන මොනවද කියලවත් හිතේ තිබුණේ නෑ. ඒත් මහ හයියක් වගේ එකෙක් මගේ වම් පැත්තේ අසුනේ හිටියා..නිසල්..මගේ හිතට මේ වෙලාවේ හයියක් වෙන්න නිසල් ආපු එක් ලොකු දෙයක්. මේ වගේ වෙලාවක ආයෙත් ඉරූලගේ ගෙදර ගිහින් ප්‍රශ්නයක් වුනොත් ඒක නිරාකරණය කරගන්නත් එක්කමයි නිසල් ආවේ. අපි හෙමින් හෙමින් තුඩාව පැත්තට ආවා

***********************************************

...දරුවෝ දෙයියන්ගේ නාමෙන් කියන දේ අහන්න..ඇයි ආයෙත් මගේ දරුවට දුක් දෙන්න එන්නේ...

ඉරුදිකාගේ අම්මගේ බෙරිහන් දීමට කාමරේ හිටපු ඉරූගේ අයියා ධනංජයත් ආවා. අයියා ඉන්නවා කියලා දැනගත්තම හිත පොඩ්ඩක් ගැස්සුනත් නිසල් හිටපු නිසා ඒක ඒ තරම් ගැටළුවක් වුනේ නෑ. ඒත් අතින් බල බල හිටපු පත්තරෙත් අරගෙන ආපු ධනංජය ටිකක් නුදුරින් ඉදන් අම්මට ප්‍රශ්නය නිරාකරනය කරගන්න ඉඩදුන්නා.ඔහුගේ මුහුණෙන් පෙනුනේ මේ ගැටළුව ගැන ඔහු දැනුවත් කියලයි.

...අම්මේ මට එහෙම ඉරූව අමතක කරලා යන්න බෑ..ඉරූ ඉන්නේ මොන තත්වෙක උනත් මම ඉරූව බාරගන්නවා..

ඉරූගේ අම්මාගේ කෑ ගැසීම ඉක්මවා ගියපු මගේ කෑ ගැසීමට කාමරේ දොර රෙද්ද අතරින් මතුවුනේ බියට පත්වුණු ඉරූගේ සුන්දර මූණ..අනේ දෙයියනේ මාව පිස්සු වට්ටවපු..මට ජීවිතේට නැති ආදරයක් මතුකරලා දීපු ඒ රත්තරන් කෙල්ල කාලෙකට පස්සේ දකිද්දි හිතේ තිබුණු කිසිම දෙයක් කියාගන්න මතක් වුනේ නෑ. මතක තිබුණේ ඒ මූණ විතරමයි. අමුතුම දෙයක් ඒ මූණෙ ලියවිලා තිබුණා..බලාපොරොත්තුවක් වගේ දෙයක්..


ප්‍රශ්නය සමථයකට පත්කරන්න නිසල් මොනමොනවද අම්මට කිව්වා මතකයි. ඒ පාර අයියත් ඇවිත් අම්මට යමක් කිව්වා. අපිට අසුන් ගන්න ඉඩ ලැබුණා. ධනංජය අයියත් අපි ඉස්සරහ පුටුවෙන් වාඩිවුනා. ඉරූ පේන්න හිටියේ නෑ.


...මල්ලි මම දන්නවා ප්‍රශ්නේ..ඒ වගේම මල්ලිට වරදක් කියන්න බෑ කියලත් මම දන්නවා..ඒත් එක සැරයක් වෙච්ච දේ නිසා අම්මා වගේම මමත් මේ දේට විරුද්ධයි..ගිනි පෙලෙල්ලෙන් බැටකාපු අපි කණාමැදිරි එළියට හරි බයයි මල්ලි..


බොහොම ගැඹුරු විදියට හිතලා ඔහු කතා කලා.


... මම දන්නවා අයියේ..ඒත් ඉරූ මොන තත්වෙක හිටියත් මම එයාව දාලා යන්න සූදානම් නෑ. ඒ මම ඉරූට අවංකව ආදරේ නිසා. මට ඉරූව අමතක කරලා ගිහිල්ලා අනික් පැත්තට කෙනෙක්ට ලංවෙන්න පුළුවන් නම් මම ඉරූට ආදරේ කරලා නෑ..එදා ඉරූ මට කියලා ගියා එයාට ආදරේ කරන්න එපා කියලා..ඒකට හේතුවක් ඇති කියලා මට හිතුණා. එයාගෙ අසරණ කමට ඒක කිව්වට හිතේ තිබුණේ ඒ දේ නෙවෙයි කියලා මම දැනගෙන හිටියා..ඒකයි මම එයාව අමතක කලේ නැත්තේ..ඒත් එදා එයා කිව්ව පලියට මම එයාව අමතක කරලා වෙන කෙනෙක්ට ලංවුණා නම් අද ඉරූ තවත් දුක් විදිනවා..එහෙනම් මම එයාට ආදරේ කරලා නෑ කියලා කව්රුත් කියාවි..ඒත් මම ඉරූට ලංවුණේ එයාව ඕන අසරණ කමකදි දාලා නොයන්න බලාගෙන..


මම හදවතින් ම කියපු වචන ටිකට ධනංජය අයියා මත්වෙලා වගේ බලන් හිටියා. ටිකක් බල්න ඉඳලා හඬ අවදිකලා.


... මට තේරෙනවා මල්ලි ඔයාගෙ අදහස්..ඒත් මට බෑ කොල්ලෙක් විදියට ලෙඩ කෙල්ලෙක් උඹේ කරේ පටවන්න...ඒක කරන්න මට බෑ..ඒ කෙල්ල මගේ නංගි වුනත්..උඹ ඒක තෙරුම් ගනින් මල්ලියේ...


බොහොම ලෙංගතු විදියට ධනංජය කියපු ඒ කතාවෙන් අයියගේ අදහස් හැමදේම තේරුණා.


...ඉරූ ව එහෙම අතඇරලා දාන්න බෑ අයියා..මම කොහොමහරි ඉරූප සනීප කරගන්නවා..මෙහේ බැරිනම් පිටරටකට හරි ගෙනිහින්...


මගේ ධෛර්ය ගැන ධනංජය අයියා වගේම නිසලුත් පුදුම වෙලා වගේම ආඩම්බරයෙන් බලන් හිටියා.


...අපි කොච්චරනම් උත්සහ කලාද මල්ලි..ඒත් බැරිවුනා..බැරිම තැන එයාට ඉන්න ටික කාලෙ නිදහසේ ඉන්න දුන්නා..ඒ නිදහස එයා එයාගෙම අවාසනාවට හරවගෙන..මම දන්නෑ උඹට මොනවා කියන්නද කියලා..ඒත් උඹේ කැමැත්ත ඒකනම් මමවත් අම්මවත් ඒකට විරුද්ධ වෙන්නේ නෑ..ඒත් අර එකෙක් වගේ මගදි යනවනම් මගේ නංගිව මරලා දාලා පලයන් එදාට..මොකද ඒක ඒකිට සැනසීමක් වෙයි..


මගේ උරේට අතක් තියලා අයියා කියපු කතාවට මගේ ඇස්දෙකටත් කඳුලු ආවා. ධනංජයගේ අත මම අල්ලගත්ත විදියෙන් එයා තේරුම් ගත්තා මම කවමදාකවත් එහෙම දෙයක් නොකරන බව..ධනංජය අපි දෙන්නව තනි කරලා ඇතුලට ගියා.


ටිකකින් තේ අරන් ආවේ අම්මා නෙවෙයි ඉරූ..දෙයියනේ දැන් ඉරූගේ ගෙදරින් බාධාවත් ඉවරයි. මගේ හිතේ බාගයක් සැනසුමෙන් පිරුණා..ඒත් ඉතිරි බාගේ පුරවන්න පුළුවන් වෙයිද?..හිතට බයක් දැනුනා. 


ලස්සන මල් මල් ගවුමක් ඇඳලා කොණ්ඩෙත් නිදැල්ලේ දැගලිල්ලට ඉඩදීලා ආපු ඉරූ දැක්කම හිත් සන්තානෙම එලිය වුනා..ඉරූ අපි දෙන්නා ලගට ආවේ බයෙන් වගේ. මට සහ නිසල්ට තේ අල්ලලා යන්න හදද්දි මම නැගිටලා ඉරූව නැවැත්තුවා.


... මම ඉන්නවා ඔයා එක්ක...ඔයා ඉන්නවද මම වෙනුවෙන්?..


මම අහපු ප්‍රශ්නෙත්.ඉරූ බලපු විදියත් අර්ථය පහදන්න බැරි කවියක් වගේ වුනා.


... බෑ කියන්නනම් එපා වස්තුවේ..නාදුගල වේල්ලටත් වඩා හිත හයියකරන් ආවට ඔයාගේ ඒ තනි අකුරේ උත්තරේ ලැබුණොත් මට වෙන්නේ නිල්වලා ගගට පනින්නම තමයි.


එකපාරටම ඉරූට ඇඬුම් ආවා. ඉකි ගගහා ඇඬුවා. ඉකි ගගහා අඩන ඉරූව මගේ උරේට හේත්තු කරගද්දි අපිට බාධා නොකර නිසල් තේකත් අරන් එලියට ගියා. ඉරූ මගේ පපුවේ මූණ ඔබාගෙන ගොඩක් ඇඬුවා ඒ කදුලු කැට මගේ කමිසය පුරා ගලාගියේ හදවත තෙත් කරමින්..මම ඉරූගේ ඔළුව අතගෑවේ හිත දෙදරමින් තිබුණ සිතුවිල්ල අතරින්මයි.


... මම ඉන්නවා අයියා...ඒත් මම යන්න බලන් ඉන්න කෙල්ලෙක්..


ඉරූ අඩමින් කියපු කතාව ඇත්තම වුනත් මගේ හිත පිළිගත්තේ නෑ. යන්න කලින් තත්පරයක් හරි මේ ආදරේ ඉරූට දෙන්න ඒ ආදරේ මගේ හදවතේ තියාගන්න ලැබුණු එකම මට ඇති. මටත් හිතුණා ඉරූ එක්කම යන්න.


..පිස්සුද කෙල්ලේ..මේ කොල්ලා ඉන්නකම් යන්න දෙනවද ඔයාට...මාතර කොල්ලෝ හොඳ හදවතක් තියනවා වගේම ඒ හදවත හයියනම් ඒවයින් කරන්න බැරි දේවලුත් කරනවා...මම ඔයාට යන්න දෙන්නේ නෑ..


ඉරුදිකා තුරුලුවෙලා තවත් ඇඬුවා. ටිකකින් හැමදේටම විරාමයක් තියලා ඉරූ ඇතුලට ගියා. අපි දෙන්නා ගෙදර අයගෙන සමුගත්තා. අම්මට වඳිද්දි ඇස් කඳලිනි පෙඟිලා තිබුණා..තෙරුවන් සරණයි පුතේ..පරිස්සමින් යන්න දරුවනේ..කිව්වේ හදවතින්මයි.


අයියටත් සමුදීලා ඉරූ ලඟටත් ගියේ  කාට සමුදුන්නත් ඒ රත්තන් හිතට සමුදෙන්න බැරි විදියට මුළු සංසාරෙම බැඳිලා ඉවර නිසයි.


..මම යන්නම් ඉරූ..මම ඉක්මණට එනවා...ඒත් හිස් අතින් නෙවෙයි..ඔයාව මාත් එක්කම තියාගන්න පුළුවන් දේකුත් අරගෙනම


ඉරූ හිනාවුනා. කඳුළු අතරින්. අපි දෙන්නා යන්න ආවා ආයෙත් පුරුදු පාරෙම ඒත් මහා ගොඩක් දේවල් හිතින් අරගෙන.


****************************************************


....මචං උඹට මතකද ජීවා?...


ඊට පහුවෙනිදා හවස මගේ කාමරේදී නිසල් එක්ක කතාවක් දාගෙන ඉන්න වෙලාවක හදිසියෙම මතක් වුන දෙයක් මම නිසල්ගෙන් ඇහුවා.


...කව්ද අර සර්වේසස් ගියපු කළු උස එකා නේද?..අර බං කොන්වන්ට් එක ඉස්සරහදි තීන්ත බකට් එකක් කෑවේ...


...අන්න හරි මචං..ජීවන්තයා තමයි...මට ඌ දැන් අවුරුද්දකට විතර කලින් රාජගිරියෙදි මීට් වුණා..ඌ කිව්වා ඌ දැන් ඩොක්ටර් කෙනෙක් කියලා..ස්නායු සම්බන්ධව..මම හිතන් ඉන්නේ ඉරූව ජීවන්තයට පෙන්නන්න..


මගේ අදහස මම නිසල්ට කිව්වා.


..ඒක හොඳයි බං..කොහොමටත් ඉක්මණට කරන එක හොඳයි..දැන් හැබැයි කෙල්ල ඇත්තේ සතුටින්.


ඉරූගේ සතුටු මූණ මට මැවිලා පෙනුනා.


...ඔව් මචං මට ඌ කාඩ් එක දුන්නා මේ කොහේ හරි ඇති. ටිකක් රෑ වෙලා කෝල් එකක් දීලා බලන්න ඕන බං..


..ඔව් ඔව් ඒක හොඳයි..ඌ මොන හොස්පිටල් එකේද වැඩකරනවා කිව්වේ...


මට කිවවේ ඇපලෝ එක කියලා. දැන් ඒක් ලංකා හොස්පිටල්ස් නේ බං.ඌ රට ගිහින් ඇවිත් තියනවා. ඒක නිසා ඌට පෙන්නුවොත් මගේ හිතටත් හොඳයි බන්.


හිතට ආපු අදහස එදා රෑම ක්‍රියාත්මක කලා. ජීවා බොහොම හොඳින් මම කියපු විස්තර ටික සේරම අහගෙන හිටියා. අපි ඉස්කෝල කාලේ කරපු පිස්සු වැඩත් ඒ අතරේ ජීවා මතක් කලා.


..හරි සදීපයා...මට තේරෙනවා වැඩේ...උඹ පේෂන්වත් අරගෙන වරෙන් මාව මීට් වෙන්න..


..හරි මචං..කෙල්ල එච්චර කැමති නෑ ට්‍රීට්මන්ස් වලට..ඒත් මම කතාකරන් එන්නම් මචං..


..ඔව් ඔව් කෙල්ලෝ කොහොමත් ටිකක් ලෙඩ එක්ක පණ්ඩිතයි..උඹ කියන විදියටන්ම් කේස් එක සීරීයස් මචං..ඒත් අපි අදහස අතඇරගන්නේ නැතුව බලමුකෝ..


..හොඳයි මචං ජීවා..මම කොහේටද එක්කන් එන්න ඕන..?


..මම ගෝල් එනවා..සදර්න් එකට බ්‍රහස්පතින්දා හවස..උඹ මුලින් කෙල්ල එක්කන් එන්න ඕන නෑ..රිපෝට්ස් ටික අඩු නැතිව මට ගෙනැත් දීපන්..මම ඒවා බලලා ඩිසයිඩ් කරන්නම් මොනාද කරන්න පුළුවන් කියලා..මගේ අදුනන අනිත් ඩොක්ටර්සලාගෙනුත් උදව් ගන්න පුළුවන් වෙයි..


ජීවන්තගේ වචන මට අමෘතය වගේ දැනුනා. නියං කාලෙට වැටෙන පුංචි පොද වැස්සක් වුනත් කොච්චර වටිනවද කියලා දැනුනා.


...උඹට ගොඩක් පිං මචං..කරන උදව් වලට...


..හරි හරි බං අපි මාතර මිනිස්සු...අපේ එවුන්ට නොකරන ඒවා කාට කරන්නද...


...හොඳයි මචං..එහෙනම් මම තියන්නම්..බායි..


..බායි මචං..


දුරකතනය විසන්ධි කරලා ටික වෙලාවක් කල්පනා කලා. අනේ දෙයියනේ මේ වෙලාවේ මේ දේ හරියනවනම් මට මගේ ජීවිතේ නැතිවුනත් ඇති. ඉබේම එහෙම හිතුනා..






෴12 කොටසට....෴

7 comments:

  1. මේ කොටස කියවද්දී මගේ මතකයට ආවේ ම්ගේ පූජාව.. එයාගේ අසනීපේ ගැන මට ගෙදරින් කියද්දි මට හොදටම මතකයි මේ වගේම මම කිව්වා "ඉතුරු වෙලා තියෙන එක මොහොතකට හරි ඔයාව සතුටින් තියන්න මට ඉඩ දෙන්න" කියලා..

    අනිත් කොටසත් ඉක්මනින් දාන්න.. පුළුවන්නම් කතාවේ අවසානය දුකක් කරන්න එපා...

    ReplyDelete
  2. ගොඩක් ස්තූතියි දිනේෂ් සහෝදරයා..මම ටික ටික දන්නවා සහෝදරයගේ කතාව. ඒත් මගේ අතින් ඒකට සමාන කතාවක් ලියවීමත් හරියට හාස්කමක් වගේ.

    ReplyDelete
  3. ලස්සන කතාව.මම නම් කියන්නෙ නෑ සතුටකින්ම ඉවර කරන්න කියලා.හැම කතාවක්ම සතුටක් වෙන්න ඕනෙත් නෑ.ඒක කතාවක් පමනක් වෙන තාක් කල්.

    ReplyDelete
  4. මේක ඔයාගෙ ජීවිතේට සම්බන්ධ කතාවක්ද සහෝ?

    ReplyDelete
  5. @නිසුපා - ආදර කතා එහෙමයිනේ සහෝදරී..ස්තූතියි හොඳේ

    @පිණිබිදු - පුද්ගලික ජීවිතානුබද්ධ අත්දැකීමක් නම් නෙවෙයි

    ReplyDelete
  6. හ්ම්... මේ වගේ අත්දැකීම් තියෙන කාටත් මේම කථාව පපුවටම වදිනවා... පරක්කු කරන්න එපා සහෝ... අනික් ටිකත් දාමු... ජය...!

    ReplyDelete
  7. ස්තූතියි චතුරංග කතාවක් පපුවට වදින්නේ ඇත්තටම හදවතක් තියන අයටනේ..ඒක නිසා ඒ කතාව ඇත්තටම දැනෙනවා නම් සතුටුයි..ඉක්මණටම ඊළග එක දානවා

    ReplyDelete