Oct 24, 2011

තැබූ තැනම ඇත මගේ හිත..නොබලා නුඹ යන්න

කලකින් නොකැපූ රැවුල අතට ගෙනෙන ගොරෝසුබවට හිතත් දැන් කැමති වෙලා වගේ.ඒ ගොරෝසු බව හිතටත් ලැබෙනව
නම් හිතත් හදාගන්න තිබුණා ඉක්මණටම. ඒත් එහෙම කරන්න බැරිවුණේ නුඹ ගියාම දැනුනු ලෝබකම නිසාද නැත්නම් නුඹත් එක්කම මාව දාලා ගියපු ආදරයේ උණුහුම නිසාද කියලා මට තේරෙන්නේ නෑ. ඒත් මම දන්නවා ඔයානම් අද ගොඩක් සතුටින් කෙනෙක් එක්ක ඉන්නවා. එයාගෙ හිනාව බල බල, එයාගෙ ගතිගුණ වර්ණනා කරකර. ඔව්නේ ඉතින් මගේ වර්ණනා කරන්න දෙයක් තිබුණේ නෑනේ. ඔයා හැමදාම කරේ මට බැනපු එකනේ. ස්ථීර, අවිඡ්චින්න තීරණ නෑ කියලා, සෘජු පැවැත්මක් තියන චින්තනයක් නෑ කියලා නැත්නම් කෙනෙක්ගේ චිත්තාභ්‍යන්තරයට කිඳා බැහැලා අවබෝධ කරගන්න පුළුවන් හැකියාවක් නෑ කිය කිය. හරි ඉතින් මට ඒවා නොතිබුණා නම් ඒකට මම බැනුම් ඇහුවා, ඒත් ඒ හැමදේම තිබුණු ඔයා බොහොම ඉක්මණට මගෙන් වෙන්වෙලා ගිහින් තවත් ඇස්දෙකක්, හිනාවක් වර්ණනා කරන්නේ කොහොමද කියලා මට හිතාගන්න බෑ.


ඒකත් හරියට අර අද උදේ මුල් පිටුවේ විපක්ෂේ ගුණ කිය කිය හිටපු පද්මකුමාර මහත්තයා ලේක් හවුස් සභාපතිකම ලැබුණ ගමන් එතනට ගිහින් ආණ්ඩුවේ ගුණ කියන්න පටන් ගත්තා වගේ කියලා භාවිතාමය උදාහරණවලින් මට දැනෙනවා. හිත මෙතනම තියලා ගිහින් ඔයාම කියනනවා මට හිතක් තිබුණේ නැතිලු. කව්ද ඉතින් මේවට සාක්කි දෙන්නේ. දස මාර සෙනග ඇවිත් ලෝකයේ අයිතිය තමන්ගේ ප්‍රධානියාට කියලා සාක්කි දෙද්දි බුදුහාමුදුරුවන් වෙනුවෙන් සාක්කි දෙන්න හිටියේ මහ පොළව විතරයි. උන්වහන්සේ භූමිස්පර්ශක මුද්‍රාවෙන් අදටත් පෙන්නන්නේ ඒ පොලවෙන් සාක්කි ඉල්ලන අවස්ථාව. ඒත් මම කරපු ආදරේ වෙනුවෙන් සාක්කි දෙන්න පොලවේ වැටිලා පස් කෑවත් පොලවටවත් බෑ. ඒත් ගැහෙන හිත දන්නවා ඒක. ඒ වගේම ඔය දැන් සරුව පිත්තල කොලවලින් ඔතාගෙන හංගගෙන ඉන්න ඔය හිතත් දන්නවා ඇත්තටම ආදරේ කලාද නැද්ද කියලා.

..මී විතකට ලොල්වී - අපිලිවලයි අද මා..කියලා අන්තිම කාලෙ මම පණිවුඩයක් එව්වේ මම බීලා බීලා මැරිලා යයි කියලා බයට ඔයා ආයෙත් මගේ ලගට එයි කියලා හිතාගෙන නෙවෙයි. මගුල..මට එහෙම එකක් ඕන නෑ. සතුට තියනවනම් ඔයා යකාගේ උකුලේ සැපෙන් හිටියත් මට කමක් නෑ. ඒත් මතකේ තියනවනම් අපි හිටපු විදිය ඔය යකාත් යකෙක්ද කියලා හිතේවි. ඒත් දැන් මොකටද මේ පිස්සු යකා..තඩි රැවුලකුත් එක්ක..

ආයෙත් ජීවිතේ මුල හරියට ගිහින් ඔයා එක්ක හිටපු ඒ පුංචි නමුත් සුන්දර කාලේ..ඔයා එක්ක එකට තුරුල්වෙලා ගතකරපු මොහොත මතක් කරන්න පුළුවන්නම්..ඒත් මේ අරක්කු වීදුරුව තව විනාඩි කීපයක් ඒකට ඉඩදේවි..කමක් නෑ ඒ විනාඩි ගානත් මට ඇති බබා..


7 comments:

  1. ඒකත් හරියට අර අද උදේ මුල් පිටුවේ විපක්ෂේ ගුණ කිය කිය හිටපු පද්මකුමාර මහත්තයා ලේක් හවුස් සභාපතිකම ලැබුණ ගමන් එතනට ගිහින් ආණ්ඩුවේ ගුණ කියන්න පටන් ගත්තා වගේ...
    මරු කතාව ඒක.....
    මේ කතාව නම්....අමුතුම ආකාරයක කෙටිම කෙටි...ඒත් ඒ තරමටම ලස්සන එකක්.....
    ජය අයියා ඔයාට....(හමුවුණා අපි......වගේ එකක් තව ලියන්න),,,

    ReplyDelete
  2. බොහොම ස්තූතියි මල්ලි..අමුතු කතා ලියන්න මම ගොඩක් කැමතියි.මේකත් අලුත් ආරක් තමයි

    ReplyDelete
  3. //ඒකත් හරියට අර අද උදේ මුල් පිටුවේ විපක්ෂේ ගුණ කිය කිය හිටපු පද්මකුමාර මහත්තයා ලේක් හවුස් සභාපතිකම ලැබුණ ගමන් එතනට ගිහින් ආණ්ඩුවේ ගුණ කියන්න පටන් ගත්තා වගේ...//

    හික් හික් . . . වෙන උදාහරනයක් තිබ්බෙම නැද්ද ???

    ReplyDelete
  4. ඇත්තටම ආදරෙන් පැරදුනාම ජීවිතේ මොනතරම් වෙනස් වෙනවද..

    ReplyDelete
  5. මම හිතුවා වෙනස් විෂය පථයක වුනත් ඔය උදාහරනේ ගැලපේවී කියලා කදිමට. ඇත්තටම ආදරෙන් පරාජය වීමත් එක්ක ලබන ජයග්‍රහණත් විශාලයි.ස්තූතියි යාළුවනේ වටිනා අදහස් වලට

    ReplyDelete
  6. විරහ වේදනාව ලියලා තියෙන විදිය අපූරුයි අය්යේ.ඔයාගෙ උපමා එහෙම.ලස්සනයි

    ReplyDelete
  7. ගොඩක් ස්තූතියි නංගා..විරහව පොදුයි..ඒත් විරහවේ ඇත්ත තත්වය වෙනස්

    ReplyDelete