Oct 7, 2011

හමුවුණා..අනේ හමුවුණා - 12 වැනි කොටස

පසුගිය කොටස් 1  2  3  4  5  6  7  8  9  10  11
*************************************
ජීවිතේ එක පැත්තකින් ගෙවුනේ සතුටින්. ඒ මොකද කවදාවත් ජීවිතේට නොහිතපු  කෙල්ලෙක් අහම්බෙන් හමුවුණා. ඒ හමුවීම හිතේ ආදරේකට කප් රුකක් හිටවලා ගියා විතරක් නෙවෙයි අන්තිමට ඒ ආදරේ ලංකරගන්න යන්තම්හරි ඉඩක් ලැබිලා. ජීවිතේ එක පැත්තකින් ඒ විදියට සතුට දෙද්දි අනිත් පැත්තකින් ලොකු දුකකුත් ඉතිරි කරලා. ඒ ඉරුදිකාගේ අසනීපේ. ඉරූගේ ඉස්සරහා වීරයා වගේ අසනීපේ තුට්ටුවට දාලා කතාකරාට තනියම ඉන්න හැමවේලේම හිතට වද දුන්නේ ඉරුදිකා නැතිවෙයි කියන බය. ඒත් ඉරූ ඉන්නේ සතුටින් නිසා එහෙම දෙයක් බුදුන්ගේ සරණින් වෙන එකක් නෑ කියලා හිත කියනවා. ඒත් ගස් ගල් වගේ ඉන්න මිනිස්සු මැරිලා යද්දි කොහොමද හිත හදාගන්නෙ කියලා හිතාගන්නත් බෑ.


   ඉරූව බලන්න ඉඩක් ලැබුණු හැමවෙලාවකම ගියා. එයත් එක්ක ගෙදරින් පිට ගියේ නැත්තේ ලෙඩේ ගැන ගෙදර අය ටිකක් කලබල වෙලා හිටපු නිසයි. අනිත් හැමවෙලාවකම කෝල කරලා හරි අඩුම ගානේ කෙටි පණිවිඩයකින් හරි ඉරුදිකා මගේ ලඟ තියාගත්තා. ඉරූ සතුටින් හිටියේ. ජීවිතේ නැතිවුණු ආදරේ දෙන්න ආපු හීනයක් විදියට මම බාරගත්තා, ආදරේ දේශය බේරගන්න ආපු දියසෙන් කුමාරයා වගේ එයා මාව බාරගත්තා. ඒ ආදරේ නිසා හිතේ ප්‍රශ්න අමතකවෙලා ගිහින් තිබුණා.

  ඔය අතරේ දවසක් ඉරුදිකාගේ වාර්තා සේරම අරගෙන ගාල්ල සදර්න් එකට ගිහින් ජීවන්ත මුණගැහුණා. කාලෙකට පස්සෙ හමුවුණු නිසා ගොඩක් කතාකලේ පරණ දේවල්. ඒ අතරේ මගේ ප්‍රශ්නය ගැන කිව්වම ජීවා ඒ වෙනකොටත් ඒ ගැන අධ්‍යනය කරලා තිබුණා. මම වාර්තා ටික දීලා ගෙදර ආවේ හිතේ බලාපොරොත්තුවක් තියාගන්න ඉඩක් හදාගෙනයි.

වැහි වැටී වියලි මග
තෙතබරිත වූ අරුම
ලෙසම විත් නුඹ මහිත
වෙලා ඇත තදින් 
ඉකිබිදින ඔය නෙතට
සුව දසුන ලෙස පැමිණ
රැගෙන යන්නම් මගේ
ලොවට නුඹ වෙනුවෙන්
තැනුව...

කාලෙකට පස්සේ පරණ මහජන බැංකුවේ ඩයරියක කවියක් ලියන්න හිතුනේ හිතේ හැම බලාපොරොත්තුවක්ම තැන්පත් කරලයි. 

***********************************************

..හෙලෝ...

...හෙලෝ මචං සදීප ...මම ජීවන්ත...

නිරුදක කතරකට වැටුන පොද වැස්සක් වගේ ජීවාගේ කටහඬ මට ඇහුණා. දවස් ගාණක් තිස්සේ ජීවා කතාකරනකම්ම බලන් හිටියේ අතරමැද කතාකරලා ජීවාට කරදරයක් වෙන්න නොහිතුණු හින්දයි.

...ඔව් මචං ජීවා කියපං...

...මචං මම ඉරුදිකාගේ රිපෝර්ට් සේරම චෙක් කලා....

එහෙම කියලා ජීවා නිහඬවෙද්දි හිත සොහොන් පිට්ටනියක් වගේ වුණා.

... ඒ රිපෝට්ස් වලට අනුව ටිකක් බරපතලයි..ඒත් දැන් හරිනම් එයාගේ තත්වය ටිකක් සාමාන්‍ය අතට හැරිලා තියෙන්න ඕන.මොකද මේකේ නියම කරපු ට්‍රීට්මන්ස් වලට අනුව තත්වේ නොර්මල් නම් අපිට වැඩිදුර ප්‍රතිකාර පටන් ගන්න පුළුවන්...

තත්වේ බරපතලයි කිව්වට පස්සේ ඇහුණු වචන ටිකත් එක්ක හිත යන්තම් හැදුනා.

..මගේ යාළුවෙක් ඉන්නවා ඉන්දියන් ඩොක්ටර් කෙනෙක්...අනූපම් නායිදු කියලා..මිනිහත් එනවා ලංකා හොස්පිටල්ස් එකට..මම එයත් එක්කත් මේ ගැන කතා කලා..අනූපම් පවා කියනවා ආයෙත් ට්‍රීට් කරන්න පටන් ගන්න එක වඩා හොඳයි කියලා..ඔහොම ඉන්න දෙන එක ටිකක් ඩේන්ජර් මචං...

ඒ වචන ටිකත් එක්ක ඇඟ හීතල වෙලා ගියා. සාමාන්‍ය විදියට ජීවත් වෙනකොට මේ ලෙඩේ හරියයි කියලා හිතුවට ඒකේ අනිත් පැත්ත වෙන්න යන එක ගැන ඇහුවම හිත පුදුම විදියට අසරණ වුණා. කියන්න වචනවත් කටට ආවෙ නෑ.

..මචං දැන් අපි...මොකද කරන්න ඕන...

..සදීපයා..පුළුවන් තරම් ඉක්මණට..එහෙම කිව්වට ලොකු හදිස්සියක් නෑ..දවස් කීපයක් ඇතුලත කෙල්ලව අපේ හොස්පිටල් එකට ඇතුල් කරන්න. වියදම් ගැන එච්චර ප්‍රශ්නයක් කරගන්න එපා..ඒත් අපි ට්‍රීට් කරන්න පටන් ගන්න එක හොඳයි..අනූපම් මට හෙල්ප් කරාවි..

ඇත්තටම ජීවා මේ වෙලාවෙ කරන උදව් කියලා නිමකරන්න බෑ. මගේ හිත තීරණය කලා කොහොමහරි ඉරුදිකාව ආයෙත් බෙහෙත්කරන්න යවන්න ඕන කියලා.

..නෑ මචං වියදම් ප්‍රශ්නයක් නෑ..කොහොමහරි කරලා කෙල්ලව බේරලා දීපන් බං..මගේ පණ බේරනවා වගේ තමයි ඒකත්...

..මට තේරෙනවා සදීප..උඹ මම කියන විදියට වැඩේ කරලා ඇඩ්මිට් කරන්න කලින් මට කෝල්  එකක් දීපන්..මම සේරම ඇරේන්ජ් කරන්නම්...

..ගොඩක් පින් බං උඹට...

***********************************************

මතුවී ඇති තත්වය ගැන කතාකරන්න ඉරුදිකාගේ අම්මයි, අයියයි දෙන්නටම කතාකරලා මම දෙන්නම ඉන්න දවසක් බලලා තුඩාවට ගියා. ඉරූ හිටියේ පිටිපස්සේ වැඩක. අපි එළියේ ඉඳන් තත්වය ගැන කතාකලා. මම ජීවා කියපු දේවල් අම්මටයි ධනංජය අයියටයි පැහැදිලි කරලා දුන්නා.

....අනේ පුතේ මම කැමතිනෑ කෙල්ලව ආයෙත් ඔය ඉස්පිරිතාලගානේ නවත්තන්න..

අම්මගේ හිතේ මේ ගැන ලොකු බයක් තිබුණා. ඒනිසා අම්මා මේ ගැන මුලින්ම විරුද්ධ වුනා. ඒත් මම හැමදේම පැහැදිලිකලා.

..අම්මේ ජීවන්ත මගේ හොඳ යාළුවෙක්..තව එයාට ඉන්දියන් ස්පෙෂලිස්ට් කෙනෙක් උදව් කරනවා...අපිට බය නැතුව ඉරූව ට්‍රීට්මන්ට්ස් වලට යවන්න පුළුවන්...

මගේ කතාව අයියා යම්තාක් දුරට අනුමත කලා.

..මට තේරෙනවා මල්ලි..ඒත් නංගිට ඔපරේෂන් එකක් කරන්න ගිහින් එයාගෙ ජීවිතේට මොනවා හරි වුනොත්..

ඒ ප්‍රශ්නෙත් එක්ක මමත් ගල්ගැහුණා. ඒත් එක්කම ජීවා කියපු කතාව මතක් වුනා.

..එයාගේ ජීවිතේට තියන ලොකුම අවදානම මෙහෙම බෙහෙත් නොකර ගෙදර තියන් ඉන්න එක කියලා ජීවන්ත කියනවා..ඒක නිසයි එයාව ඇතුල් කරන්න කිව්වේ..මෙහෙම හිටියොත් ඉරූව කොහොමත් අපිට නැතිවෙයි අම්මේ...

පවුලේ දරුවෙක් වගේ මගේ කතාවටයි, මගේ කැපවීමටයි ඉරූගෙ අම්මගේ ඇස්වලට කඳුළු ඇවිත් තිබුණා. 

..ඒත් දරුවෝ දුවට මොකක් හරි වුනොත්...

...අම්මෙ එහෙම අසුභවාදීව හිතන්න එපා..අපි මේ වෙලාවෙ හිත හයිය කරන් ඉන්න ඕන..මම ඉරූගෙ වගකීම ගන්නවා..අම්මේ ඉරූව ඇඩ්මිට් කරන්න කලින් මම එයාව බඳින්න කැමතියි..

මගේ කතාවට අම්මයි අයියයි මූණට මූණ බලාගත්තා. ඒ දෙන්නට මගේ කතාව අදහගන්නත් බැරිවුනා.

..නෑ නෑ..පුතේ අපිට එහෙම අවිස්වාසයක් නෑ..ඒ වගේම මෙහෙම හදිස්සියට ඒවා කරන්න ඕනත් නෑ..බුදුන්ගෙ සරණින් දරුවට හොඳවුනොත් අපි ඒවා ගැන බලමු...

ධනංජය අයියා බොහොම හැඟීම්බරව එතනින් පිටවුනේ මගේ පිටට තට්ටු කරලා යමක් කියලා.

...හැමදේම හරියට වුනොත් නංගි උඹට ඇරෙන්න ලැබෙන්න අයිති කිසිම කෙනෙක් මේ ලෝකෙ නෑ මල්ලි...මේ ආත්මෙ විතරක් නෙවෙයි හැම ආත්මෙකම..

ඒ හැඟීම්බර වචන මාව තවත් ශක්තිමත් කලා. කොහොමහරි දෙන්නවම කැමතිකරගන්න ලැබීම ලොකු හයියක් වුනා. යන්න කලින් මම ගිහින් ඉරූව බැලුවා.

...මොනවද ඔච්චර තුන්දෙනා එකතුවෙලා කතාකරේ..කුමන්ත්‍රණයක් වත්ද?..

ඉරූ හිනාවෙලා බොහොම සැහැල්ලුවෙන් ඇහුවා. ඔය සැහැල්ලුවෙන්ම අපිට ජීවත් වෙන්න ලැබුණ නම් කියලා හිතුනා.

..නෑ ඉරූ මම ඔයාට කිව්වේ අර මගේ යාළුවා ඩොක්ටර් ජීවන්ත එයා කතාකලා..

...මොකද අයියෙ එයා කිව්වේ..මම ඉක්මනටම මැරෙයි කිව්වද?..

මගේ මූණ කළු වෙනවා දැක්කම ඉරූට හිනහත් ගියා.

..ආයෙත් ඔය කතාව කියලා මගෙන් ගුටි කන්න එපා..ඔයා විතරද ඇයි මම ඇල්ටො පොඩ්ඩගේ යද්දි හැපිලා මලොත්...

..අපොයි කියන කතා..හරි හරි දැන් ඕක අමතක කරමු..ඉතින් ඩොක්ටර් මොකද කිව්වේ..

..ආයෙත් ට්‍රීට්මන්ට්ස් පටන් ගන්න කිව්වා..ඔයා ඔහොම ඉන්න එක හොඳ නෑ කිව්වා..

ඉරූගේ මූණ හොඳටම නරක් වුනා.

..අනේ මටනම් බෑ අයියේ ආයෙත් ඉස්පිරිතාල ගානේ යන්න...

ඉරූ නහයෙන් අඩන්න ගත්තටම මම කියලා කියලා යන්තම් කැමති කරවා ගත්තා.

********************************************

ජීවාට කතාකරලා දින වෙන්කර ගත්තා. ගමන සූදානම් කෙරුවා. ගිහින් නවතින්න සූදානම් කරගත්තේ ඉරූගේ පුංචි අම්මගේ ගෙදර. රාජගිරියේ පිහිටා තිබුණු ගෙදරට යන්න කට්ටිය සූදානම් වුනා. මගේ ඇල්ටෝ පොඩ්ඩා ගමනට සූදානම් කරගෙන මම තුඩාවට ගියා. ධනංජය අයියා හා අම්මා හැමදේම පිළිවලට ලෑස්ති කරගෙන තිබුණා. 

..මම නංගිට කෝල් කලා අද උදේ පුතේ...එහේ සේරම හරි...

මම ගෙදරට යද්දිම ඉරූගෙ අම්මා කිව්වා. බඩු සේරම සූදානම් කරලා තිබුණා. ධනංජය අයියා සූදානම් වෙමින් හිටියා. ඉරූ ලස්සන සල්වාර් එකිකින් සැරසිලා හිටියා. මූණනම් එච්චර හොඳ පාටක් තිබුණෙ නෑ. හැමෝම ටිකක් විතර බයවෙලයි හිටියේ.

...මම බඩු ටික පටවන්නම්...

ධනංජය අයියා හැම දේම වාහනේට පැටෙව්වා. ගෙදර සේරම දොරවල් වහලා  අපි එළියට බහින්න පිටත් වුනා. ඉරූ යන්න කලින් තාත්තගේ පින්තූරෙට වඳිනකොට අම්මගේ ඇස්වල කඳුළු පිරුනා. යන්න කලින් ඉරූ මුළු ගේ දිහාම බලලා දිගු සුසුමක් පිටකරේ හරියට අන්තිම සැරේට ගෙදරින් පිටවෙනවා වගේ. මගේ හිතට ඒ බැල්ම එච්චරම සුබ වුනේ නෑ. මම ඉරූවත් අරගෙන එලියට එන්න ආවා. අපි හතරදෙනාම සාලෙන් පිටවෙලා එන්න ආවා.

ඒත් එක්කම සාලෙ පැත්තෙන් ලොකු සද්දයක් ඇහුණා. ගමන යන්න  ගියපු අපි ආයෙත් හැරිලා සාලෙට ආවා. සාලෙට එද්දි කට්ටියම දැක්කේ ටීපෝ එක උඩ තියලා තිබුණු ඉරූ ගේ ලස්සනම රාමු කරපු පින්තූරේ බිම වැටිලා වීදුරු කටු හැම තැනම විසිරිලා තියනවා. අපි තුන්දෙනාම මූණට මූන බලාගත්තා මිසක් කියන්න දෙයක් ඉතිරිවුනේ නෑ.

 ඉරුදිකා හෙමින් හෙමින් ගිහින් මූණ බිමට බරකරන් පින්තූරෙ අතට ගත්තා. තමන් හිනාවෙවී ඉන්න තමන්ගෙම පොටෝ එක දැන් කුඩුවෙලා ගිහින්. ඉරූ පින්තූරය ආයෙත් ටීපෝ එක උඩ තියලා යන්න ආවා.




11 comments:

  1. මරන්න නම් එපෝ..!!

    ReplyDelete
  2. අනේ අම්මෝ ඉරූ අක්කව මරන්න නම් එපා...!!!!
    ඒ කෙල්ලව ඔතනින්ම හොඳ කරලා ලස්සන ජිවිතයක් දෙන්න..
    කතාව පට්ට විදියට ගලාගෙන යනවා..එල..

    ReplyDelete
  3. මම පූජව ඉස්පිරිතාලෙට එක්කන් යනකොට ගොඩක් ඵු වෙලා වැඩියි.. ඒත් ඉරූට එහෙන වෙන එකක් නෑ කියලා මං හිතනවා..

    ReplyDelete
  4. අයියෝ ඇයි මේ අසුබ පෙරනිමිති දාලා අපිව බය කරන්න හදන්නෙ?? ඉරූ සනීප වෙන්නම ඕන. එහෙම නැත්නම් ඕකෙ පුනර්භවයත් එක්ක තව කතාවක් ලියන්න වෙයි. ඉතුරු කොටස් ටිකත් දාන්න ඉක්මනටම.

    ReplyDelete
  5. @බනියා/ගිනිකුරුල්ලා- කතාවේ අවසානයට ගොඩක් ලඟයි යාළුවනේ..අවසානේ කොහොමවෙයිද කියලා දැන්ම කිව්වොත් වැඩක් නැතිවෙයිනේ...ස්තූතියි අදහසට

    @දිනේෂ් - ඔව් දිනේෂ් අපි එහෙම හිතමු

    @හංසි - සතුටු දායක් අවසානයක් වේවි කියලා හිතමුකෝ..ඒත් කතාව ඇත්තටම කොහොම වෙයිද කියලා බලමුකෝ

    ReplyDelete
  6. හරිම සංවේදීව කතාව ලියාගෙන යනවා.. දැන් දැන් ඇහැට කඳුලු උනනවා කියවගෙන යද්දි..

    ReplyDelete
  7. ඔයා අපිව බය කරනවානෙ අනේ...

    ReplyDelete
  8. @LPS - ස්තූතියි යාළුවා..මගේ කුළුදුල් සයිබර් නවකතාව උපරිමෙන් කරන්න උත්සහ කරනවා

    @නිසුපා - අපෝ නෑ..මම මගේ පඨකයෝ බය කරන්නේ නෑ..ඒත් මේ කතාවනම් එහෙම කරනව කියලා ගොඩක් අය කිව්වා

    ReplyDelete
  9. ඉස්පිරිතාල අත්දැකීම් නම් මටත් ඉහට උඩින්... ඒ නිසා සදීපට (සත්‍යාසන්නව) හිත හයිය කරගනින් කියලා පොඩි ඇඩ්වයිස් එකකුත් දෙන්න ඕනේ.

    මොනව වුනත් කථාව නම් පට්ට.. ලව් එක විතරක්ම නෙවේ. සම්බන්ධය හා ගලායෑම උපරිම විදියට හොඳයි... කෙටි නව කථාවක් නිසා සමහර සිද්ධි fastforward වගේ ගියාට බාධාවක් දැනෙන්නේ නෑ... ඇත්තටම හරිම ආසාවේන කියවන කථා මාලාවක් මේක...!

    සහෝ... කථාව ඉවර කරලා e-book කරන්න. නැත්නම් ප්‍රින්ට් කරන්න. හොඳ ප්‍රතිචාර ලැබෙයි... අනිවා... මුරුංගා අත්තේ තියන්න නෙවෙයි කියන්නේ. ඇත්තටම කථාව ලෙස...

    සුභ අවසානයක් වේවා... අඬන කට්ටියට සතුටු කඳුලුත්, සුසුම් හෙලන අයට සැනසුම් සුසුමකුත් දීලා කථාව අවසාන වේය කියා සිතනවා... ජය...!!!

    ReplyDelete
  10. මරපියෝ.... ;) (අයි හේට් හැපී එන්ඩිංස් :D හික්ස්...)

    ReplyDelete
  11. @චතුරංග- ස්තූතියි සහෝදරයා..ගොඩක් හොඳ අදහස් ගණනාවක්..

    @කිඩෝ - ඔව් ඉතිං උඹත් ජීවිතේ හැපී එන්ඩින් බලාපොරොත්තු වෙන්න එපා මම ඉන්නකං..හිකිස්

    ReplyDelete