May 1, 2015

රනිල්, මංගල සහ මඩ දේශපාලනය


රනිල් වික්‍රමසිංහ යනු මෙරට වත්මන් අග්‍රාමාත්‍යවරයාය. හෙතෙම එම තනතුර දරන්නේ තෙවැනි වතාවටය. සාමාන්‍යෙයෙන් ඔහු එම තනතුර දැරූ උපරිම කාලය වසර දෙකකි. මංගල සමරවීර යනු වත්මන් රජයේ විදේශ කටයුතු අමාත්‍යවරයාය. තැපැල්,විදුලි සදේශ,වරාය, ගුවන්සේවා වැනි අමාත්‍යංශ ගණනාවක හසල අත්දැකීම් මෙන්ම වැඩි වැඩ කොටසක් කල පුද්ගලයෙකි. මේ දෙදෙනා තකට තක ගැලපෙන චරිත බව සඳහන් කල යුතුමය. 

   රනිල් දේශපාලන භෞතීස්මය ලබන්නේ ජේ.ආර් ජයවර්ධන සෙවණේය. ඒ සෙවන රනිල්ට අම නිවනක් වූ බව දේශපාලන ඉතිහාසය දන්නා ඇත්තන් දනිති. දශක තුනකට වැඩි දේශපාලනය තුල රනිල් වික්‍රමසිංහ චරිතය නගින්නට මෙන්ම බසින්නටද හේතු වූයේ රනිල්ගේ දේශපාලනික හැසිරීම පමණක් නොව ඔහු වටාගොඩනැගුනු විවිධ බලවේගත් නිසාවෙනි. රනිල්ගේ දේශපාලන දර්ශනය තුල තිබෙන්නේ පිරිසිදු බවකි, බොහෝවිට එය ලංකා දේශපාලන ක්‍රමයට නොගැලපෙන්නක් බව පෙනුනේත් ඒ නිසාමය. නමුත් රනිල්ගේ දේශපාලන ක්‍රමවේදය තුල මඩ දේශපාලනය විශේෂ ස්ථානයක් ගන්නේ රනිල්ගේ ස්වකැමැත්තෙන්මද යන්න ගැටළුවකි.


   චන්ද්‍රිකා පාලන සමයේ මංගල සමරවීර යනු අග්‍රපුරෝහිත සමාන චරිතයකි. අද මංගලට අවශ්‍ය දේ හෙට චන්ද්‍රිකා කරන මට්ටමට බලයක් මංගලට තිබුණි. ඒ ආධිපත්‍ය බිඳවැටෙන්නේ 2004 මහින්ද අගමැතිවීම සහ 2005 දී ඔහු ජනපති බවට පත්වීමෙන්ය. චන්ද්‍රිකා සමයේ මහින්දට සිදුවූ විවිධ කෙනහිලිකම් පිටුපස මංගල සිටි බව මහින්ද හොඳාකාරව දැන සිටි අතර මහින්ද සිටියේ තිත්තයාගේ වාරය එනතෙක්ය, කෙසේ වෙතත් 2005 ජයග්‍රහණයට මංගල මහින්දට විශාල දායකත්වය ලබා දුනි. විශේෂයෙන්ම මහින්දගේ ප්‍රචාරණ ජාලය පිටුපස මංගල,ඩලස් නිරතුරුවම රැඳුනි. චන්ද්‍රිකා පාලන සමයේ මංගලලා “රනිල්ට බෑ“ යනුවෙන් රනිල්ගේ මුහුණ සුප්‍රසිද්ධ මිස්ට බීන් චරිතයට සමාන කොට රටපුරා ගැසූ පෝස්ටරය තුලින් ජනතාවගේ මනස තුලට යැවූ පසුගාමී ආකල්පය තුලින් රනිල්ට අත්වූයේ දැඩි අවාසිසහගත තත්වයකි. ඒ තත්වයෙන් ගොඩ ඒමට රනිල්ට තවමත් නොහැකිව ඇති බව පිළිගත යුතුය, අනෙකක් තබා අද වනතෙක් රනිල් පාර්ශවයට වී සිටින මංගලටවත් එදා සිදුකල හානියෙන් රනිල්ව ගොඩදාගන්නට නොහැකිවී ඇත.

    මංගල සමරවීර යනු මැතිවරණ සහ දේශපාලන දර්ශන ප්‍රචාරණයෙහි ලා කෙල පැමිණියෙක්ය. ගොබෙල්ස් න්‍යාය සහ ගරිල්ලා මාර්කටින් ඔහුගේ ප්‍රධානතම ආයුධ දෙකකි. නාසිවාදීන්ගේ බල වර්ධනයට සහ ජනයා බිය ගැන්වීමට අමූලික ගජබින්න දීර්ඝකාලීනව එකම සංඛ්‍යාතයක් යටතේ මුදාහැරීම තුලින් එය සත්‍යයක් බවට ජනමනස පිළිගන්නා බව ඔප්පු කලේ ගොබෙල්ස් ය. එයින් වැඩිපුරම ලංකාව තුල ප්‍රයෝජන ගත්තේ මංගලය, ගරිල්ලා මාර්කටින් යන අඩු පිරිවැයක් තුල වෙනස්ම වූ සහ ජන මනස ආකර්ශණය කරගන්නා ක්‍රමවේද යටතේ ජනතාවගේ දුර්වල තැන් හඳුනාගෙන ඒවා උපක්‍රමශීලීව භාවිතා කරගෙන ප්‍රචාරණයේ නිරතවීම නැමති ක්‍රමවේදය මුලින්ම භාවිතා කලේ ජේ.ආර් ජයවර්ධන වුනත් එය රනිල් වික්‍රමසිංහටද හොඳින් සිදුකල හැකිවුණි. නමුත් රනිල්ටත් වඩා එයට මංගල දක්ෂ විය. එදා “ගරිල්ලා මාකටින්“ චිත්‍රපටයෙන් ජයන්ත චන්ද්‍රසිරි පහර දුන්නේ අන්න එතනටය. 

   එදා මංගල රනිල්ගේ ඡායාරූපය මිස්ට බීන් බවට පත්කර පෝස්ටර් ව්‍යාපාරය දියත් කල මොහොතේ රනිල් ඊටත් වඩා හොඳ ප්‍රකාශයක් කරන ලදි. “මංගලගේ ඇස්දෙක සහ එස්.බී ගේ කට යොදාගෙන පෝස්ටර් ගහලා“ යනුවෙන් රනිල් කී කතාව තුල ගැබ්ව ඇත්තේ උපහාසය පමණක් නොව, මහ දරුණු කතාවකි. දේශපාලනය තුල මඩ දේශපාලනයට පක්ෂයක්, පාටක් භේදයක් නැත. නමුත් එය පවතින පාලනය අනුව වෙනස්වන සිද්ධි දාමයක් සහ ක්‍රමවේද වශයෙන් වෙන්කොට හඳුනාගත හැක. එදා චන්ද්‍රිකා වෙනුවෙන් මඩ කැම්පේන් දියත් කල මංගල අද රනිල් වෙනුවෙන් මඩ කැම්පේන් දියත් කරයි. ඒ අතරම මංගලටද මඩ නාගන්න වූ අවස්ථා අපමණය, එහෙමත් තවමත් මංගලගේ මඩ බලකාය ඔහු වටා සිටී, වෙනසකට ඇත්තේ අද රනිල්ද ඔවුන්ට උදව් කිරීමයි. එය දෛවය විසින් සිදුකල කුප්‍රකට සරදම්ය.

    පුවත්පත්, රූපවාහිනී, ගුවන්විදුලි, වෙබ් අඩවි, සමාජ ජාල හරහා අද පවා දැඩි ලෙස මංගලගේ මඩ ව්‍යාපෘති අගේට ක්‍රියාත්මක වෙති. මංගලලාට පමණක් නොව තමන්ටද මඩ ව්‍යාපෘති අගේට කල හැකි බව විමල් වීරවංශලාද පසුගිය සමයේ ලොවටම පෙන්වා දුනි. මේ මඩවලට සල්ලි මිටි පිටින් විසිකිරීමට පාර්ශවද සිටිති. එහෙත් රනිල්ලා, මංගලලා මඩවලින් යටකර බොරුවට පුම්බන චරිතවලට වැඩි අයුෂ නැත. ලංකා දේශපාලනය තුල මෙයට වඩා යමක් බලාපොරොත්තු විය නොහැකි බවද කිව යුතුය. දේශපාලනය බඩ වඩාගැනීමේ තවත් එක් සාර්ථක මාර්ගයක් ලෙස හැඳිනගත් බඩගෝස්තරවාදීන්ට කාලයක්, දැනීමක් නැතිව සිදුකරන කටයුතු වලට නිමක් නැත.

3 comments:

  1. මංගල යනු දේශපාලනික මහත්මා චරිතයක් නොව................

    ReplyDelete
    Replies
    1. දේශපාලනයේ මහත්මා චරිත ඉතා අල්පය..මංගල ඒ කුලකට අයත් නොවේ

      Delete
  2. බොරුව තමයි දේශපාලනයේ දී මේ දක්වා ජයගෙන තියෙන්නේ පසුගිය අවුරුදු 60 පුරාම!

    ReplyDelete