Jan 12, 2012

ශ්‍රී ලංකා ක්‍රිකට්..වැටීම,නැගිටීම හා වැටීම



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දශක තුනකට ආසන්න එක්දින තරඟ ඉතිහාසයේ අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය පුවත ඇසෙන විට ඔවුන් සිටියේ 1996 , 2007 හා 2011 යන ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ ස්වර්ණමය යුගයන් පසුකර මිස 70 හෝ 80 දශකයේ ක්‍රිකට් තිඹිරි ගෙයින් බට සමයේ නොවීම ඉතා ඛේදජනක කාරණයක් විය. වරක් ලෝක ශූරයන් වීම හා පිට පිට දෙවරක්ම අනුශූරයන් වූ කණ්ඩායම් එතරම් පහලට වැටෙන්නේ ශ්‍රී ලාංකේය ක්‍රිකට් අභිමානයේ සුසුම්නාවට එල්ල කරන දැවැන්ත පොලු පහරක් සමගය, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් මාන්‍ය නැමති වේග පන්දුවට එල්ල කරන අතිශ්‍යයින්ම ප්‍රබල ලොප්ටඩ් ඔන් ඩ්‍රයිව් පහරක් සමගය.ලංකා කණ්ඩායම එසේ වැටුනේ ඇයි?


ඇස්මානයටත් වඩා ලංව ඇසිපිය මත තිබූ පසුගිය ලෝක කුසලාන ජයග්‍ර හණය ගිලිහී යාමත් සමග ශ්‍රී ලංකා පිලේ මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලී න්ගේත් මානසිකත්වය දැඩි පසුබෑමකට ලක්වූ බව නොරහසකි, එනමුත් එය දැනෙන්නට නොදී යලිත් වරක් නැගිටින්නට ලංකාවේ ක්‍රිකට් තරඟ විදින්නන් මනා පිටුබලයක් දුන් බවද නොරහසකි. එසේම ලෝක කුසලානයේ උණුසුම මැකෙන්නටත් පෙර ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙන්ටම නායකත්වයේ වගකීම් ලබාදෙමින් ඇරඹි ඉන්දියානු ප්‍රමුඛපෙල ලීගය(අයි.පී.එල්) හේතුවෙන් පරාජයේ කනස්සල්ල ඉක්මණින් පලාගියහ. එහෙත් පරිපාලනයේ පැවති දුර්වලතා හේතුවෙන් ක්‍රීඩකයන්ට නොයෙක් අකටයුතුකම් සිදුවීම ඇරඹෙන්නේ එයත් සමගින්ය.

නොසිතු මොහොතක කුමාර් සංගක්කාර කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීම,ලසිත් මාලිංග ටෙස්ට් ක්‍රිකට් වලින් සමුගැනීම, ලෝක පූජිත මුරලිදරන් සමස්ත ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම, අජන්ත මෙන්ඩිස්, සුරාජ් රන්දිව්,දිල්හාර ප්‍රනාන්දු වැනි ශ්‍රී ලංකා කණ්ඩායමේ බර අවි නිශ්ක්‍රීය වීම වැනි කාරණා මත කණ්ඩායම පඩියෙන් පඩිය පහලට වැටෙන්නට විය. එයට ප්‍රතිකර්මයක් ගැනීමට ක්‍රීඩා බලධාරින්ට නොහැකිවූ අතර අතීසාරයට අමුඩ ගසනවා වැනි කෙටිකාලීන හා ප්‍රඥාව මූලික නොවූ තීන්දු තීරණ හා නොකලට කල අත්හදාබැලීම් හේතුවෙන් ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව කෙමෙන් කෙමෙන් නොගිය ඉසව්වකට යන්නට විය.

පසුගිය සමයේ ආරම්භක පිතිකරු භූමිකාවට උසස් වීම හා ඩිල්ස්කූප් පහරත් සමග ක්‍රිකට් ආකර්ශණය තමන් දෙසට හරවාගත් තිලකරත්න ඩිල්ෂාන් කණ්ඩායමේ නායකත්වයට පත්වන්නේ මේ සමයකය. ලංකා ක්‍රිකට් ලෝලීන් මෙයින් තම බලාපොරොත්තු ඉහල නංවා ගන්නට එය සාධයක් කරගත්හ. නමුත් විචාරකයන් දැන සිටි කාරණයක් විය, ඒ ඩිල්ෂාන් ආවේගශීලී ක්‍රීඩකයෙක් බවය, විශ්ලේෂකයන් දැන සිටි කාරණයක් විය එනම් ඩිල්ෂාන්ට කණ්ඩායම තුල උපරිම සහයෝගයක් ලබාගත නොහැකි බවයි.. නමුත් දක්ෂයෙක්ට මෙම සියලු තර්කයන් බිඳිය හැකි වූවත් අවාසනාවකට එය එසේම විය. නමුත් එය පුද්ගල සාධක මත පමණක්ම නොව බාහිර සාධකවලද බලපෑම් ද නොඅඩුවම එයට එල්ල වුනි. කෙසේ වෙතත් අවසානයේ බිඳීගියේ ලාංකේය ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තුය.

ටෙස්ට් තරඟ ගණනාවක් දිගින් දිගට පරදිද්දී, නවකයන්ගෙන් සමන්විත පාකිස්ථානයට මැද පෙරදිගදී දරුණු පරාජයක් ලබද්දී දුක් වූයේ ලාංකේය ක්‍රීඩා ලෝලීන්මය. යලිත් ක්‍රිකට් තරඟ නොබලන බවට දිවුරා පොරොන්දු වී රේඩියෝව හෝ රූපවාහිනය වසා දමා ගියත් නැවතත් දිනක තරඟයක් පැවැත්වෙන විට ඇහෙන උද්වේගකාරී වාග් මාලාව හා ප්‍රීති ඝෝෂාවන් අසාගෙන පාඩුවේ ඉන්නට බැරි අමාරුවක් ලංකාවේ අපිට තිබීම කණගාටුවට කරුණක් මෙන්ම සතුටට කරුණක්ද වේ. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් මෝඩයන් හෝ දුෂ්ඨයන් නොවේ. තරඟ පරාජය වූ පසු ක්‍රීඩකයන්ගේ ගෙවල් වලට ගල් ගහන,පඹයන් පුච්චන පිරිසක් ලංකාවේ නැත.ක්‍රිකට් යනු හුදු වින්දනය බව පමණක් ඔවුන් දනිති. නමුත් වින්දනයටත් එහා ගිය පර්යේෂණාත්මක ඇසකින් හා බුද්ධියකින් තරඟ දත්ත පරිශීලණය කරමින් තරඟ අත්විඳින්නේ ඒ ක්‍රිකට් විචාර බුද්ධිය හේතුවෙනි. නමුත් ඒ කිසිවකට හසුනොවුනු ලංකාවේ ක්‍රිකට් බිඳ වැටීමේ සාධක තිබේ.

නව පරිපාලනයක් බිහිවීමේ සිහිනය යථාර්ථයක් කිරීමට හැකි කාලයක් නොවුනත් අනාගතය අපැහැදිලි බව කිව යුතුය. ඩිල්ෂාන් ප්‍රමුඛ කණ්ඩායම දකුණු අප්‍රිකානු තාක්ෂණික තණ බිම් මත අන්ත අසරණ වී සිටිති. එයට ප්‍රතිකර්ම නැත.ජෙෆ් මාෂ්ට යම් දෙයක් කරන්නට හැකි වුනත් ඔහුට සියයට සියයක් ඔබින කණ්ඩායම ලැබී නැත. තවමත් අත්හදා බලමින් සිටී. එදා පන්දුවෙන් තරඟ බේරාගත් ලංකාවේ පන්දු බල ඇණිය අක්‍රමවත් වී ඇත. මේ අඩුපාඩු හදා නොගන්නට යලිත් වැටුණු තැනින් නැගිටිනු නොහැකි වනු ඇත.

ක්‍රිකට් විශ්ලේෂකයන්ට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යනු ෆීනික්ස් කුරල්ලා වැනිය. එනම් දැවී අළු වූවත් අළු මතින් නැගිට තේජාන්විතව පියාසර කරන්නකි. එය අතීතයේ අපි අත්දැක ඇත. අනාගතයේදීද එසේ වනු ඇත. නමුත් අළු මතින් නැගිටින්නට නිකම්ම බැරිය සුදුසු වාතාවරණයක් තිබිය යුතුය. එයට නිසි කාලය මෙය නොවේ. එබැවින් එකලට නැගිටින්නට ලංකා කණ්ඩායමට වරම් ලැබේවා යන්න අපේ ප්‍රාර්ථනයයි.

9 comments:

  1. ක්‍රිකට් පරිපාල‍නයෙ ඉදලාම ලොකු වෙනසක් ඉක්මනින් නොකලොත් දිගටම ලැබෙන්නේ මේ වගේ ප්‍රතිඵල තමා. සිම්බාබ්වේ ට වුනා වගේ දෙයක්නම් අපට වෙයි කියල හිතන්න අමාරුයි. ඒත් මේ තත්ත්වය නම් ඉක්මනින්‍ම වෙනස් වෙන්න ඕන.ක්‍රිකට් විතරක් නෙවෙයි සමස්ථ ක්‍රීඩාවම දැන් තියෙන්නෙ වලේ..

    ReplyDelete
  2. ඊලග මැච් එක දිනීවි..

    ReplyDelete
  3. ඊයේ මොකද උනේ කියලා තාම හිතා ගන්න අමාරුයි.. හැමදාම දිනන්න බෑ.. ඒත් ඊයේ ස්කොර් එක දැක්කම අදහා ගන්න බැරි උනා.. කොහොම උනත් ඊළග මැච් එක දිනයි කියලා හිතනවා..

    ReplyDelete
  4. @සුමිත් - ඇත්තටම සුමිත් අයියා මේ ව්‍යූහය සහ ක්‍රමවේදයේ ලෙකු වැරැද්දක් තිබෙනවා..ජයග්‍රහණයක් ලබද්දි එය කඩතුරාවෙන් වැසී යනවා නැවතත් පරාජයකදී ඉස්මතු වෙනවා..

    @අමිල- ඔව් සමහර විට..නමුත් එය දෙවනි ටෙස්ට් තරඟයේ ජයග්‍රහණය වගේ වෙලා තෙවන තරඟය පරාජයට පත්වේවි..මෙයට අවශ්‍ය දීර්ඝ කාලීන විසදුමක්

    ReplyDelete
  5. @දිනේෂ් - පැහැදිලිවම තවමත් එය අදහගන්න අමාරුයි..නමුත් කටුක යථාර්ථය එයයි

    ReplyDelete
  6. ඊයේ මොකද උනේ කියලා හිතාගන්න බැරිව තමා ඉන්නේ මේ...අනේ මන්දා..

    ReplyDelete
  7. @චම්මා - එය අපැහැදිලියි..නමුත් එය වෙස්වලාගත් ආශිර්වාදයක් බවට පත්කරගැනීමට ශ්‍රී ලංකා පිලට හැකියාවක් තියනවා

    ReplyDelete
  8. මට නම් හිතෙන්න අර ජයසූරිය කියපු දේ තමා.."කාලයක් යාවි ආපහු පුරුදු තත්වෙට එන්න."...මේකයි එක පාරම ගොඩක් පළපුරුදු ක්‍රීඩකයෝ අයින් වුන එකේ අඩුව මකා ගන්න පුළුවන් අය දැන් නෑ....මේක ලංකාවේ ක්‍රමයේ තියෙන වැරැද්දක්...හරි හමන් දෙවෙනි පෙළක් මෑත කාලෙදි කිසිදවසක ලංකා කණ්ඩායමේ ඉඳලා නෑ.....එහෙව් එකේ ඔහොම පරදින එක ගැන පුදුමයකුත් කෑ....මොනවා උනත් අපරාදේ....අපි බලමු....මම නම් අදටත් පරදිනවා පෙනි පෙනී හිටියත් හිතන්නේ ලංකාව දිනනවා කියලා.
    මොකද එහෙම විශ්වාසයක් අපිට ඇති කරවපු කණ්ඩායමක් හින්දා

    ReplyDelete
  9. බැන බැන වුනත්, අද මැච් එකත් මං බලනවා...! මොකද සෙල්ලම් කරන්නේ මොකා වුනත් උන් ටික ලංකාවේ ටීම් එක නිසා... ! අපි ගැන හිතලවත් අපේ කොල්ලො ටික හොඳට සෙල්ලම් කරනවා නම් ??? ගේමක් දීලා පැරදුනාට දුක නෑ. මෙහෙම බලු වෙනකොට හිතට දුකයි අප්පා !!!

    ReplyDelete