Jul 20, 2012

බුදුන් සිව්වෙනි වරටත් සිරිලක්දිව රිදීගමට වැඩමකල අසිරිය...

දිනය 2001 වර්ෂයේ මාර්තු 16 වැනිදාය. එදා ඇෆ්ගනිස්ථානයේ අන්තගාමී ත්‍රස්තවාදී තලේබාන් සංවිධානය සිය මුරණ්ඩු ප්‍රතිපත්ති නැවත වරක් ක්‍රියාත්මක කරමින් ඇෆ්ගනිස්ථානයේ ශේෂව පැවති ඉපැරණි ප්‍රධානතම බෞද්ධ උරුමය වූ “බාමියන්“ බුදු පිලිම විනාසකර දැමුවේ මුළු ලොවක් බලා සිටියදීය. එය නතර කර ගැනීමට කිසිඳු පාර්ශවයකට නොහැකිවිය.(එහි දිට්ඨධම්මවේදනීය කම්ම තත්කාලීනව ක්‍රියාත්මකවී ඇත) ලොව පුරා බෞද්ධ මෙන්ම අබෞද්ධ ජනකොට්ඨාශ පවා ඒ දෙස බලා සිටියේ මහත් ශෝකයෙන්ය. එදින ශ්‍රී ලංකාද්වීපයේ කුරුණෑගල පෙදෙසේ රිදීගම, රම්බඩගල්ල මොණරාගල විහාරයේ නායක හිමියන්වන එගොඩමුල්ලේ අමරමෝලී ස්වාමීන්ද්‍රයන් පවා ඒ දෙස බලාසිටියේ කළකිරුණු සිතිනි. නමුත් උන්වහන්සේ හිතට වෛරය ආරෝපණය කර නොගත්හ. සවස් භාගයේ රම්බඩගල්ල ගමේ දායකයන් මේ පිළිබඳ දැනගෙන ලොකු හාමුදුරවන් මුණගැහෙන්නට ආවේ වැඩිදුර මේ පිළිබඳ තතු දැනගැනීමටය. උන් වහන්සේ තමන් දන්නා පරිදි සිදුවීම ගමේ දායකයන්ට පහදාදුනි. ඒ අසාසිටි ගමේ පොඩි කොළුගැටයෙක් උන්වහන්සේට මෙසේ කීය..



“ලොකු හාමුදුරුවනේ..අපිත් ඔය පල්ලි දෙක තුනක් කුඩු කරලා දාමු..නැතුවනම් හරියන්නේ නෑ...“


එයට පිළිතුරු ලෙස සිහින් සිනාවකින් සංග්‍රහකල අමරමෝලී නාහිමියන් ධම්මපදයේ “නහී වේරේන වේරාණි..“ ගාථා පාඨය සිහිපත් කර දේශනා කලේ මෙවැන්නකි.


“දරුවෝ බෞද්ධ ඉතිහාසයේ අපිට ගහලා තිබුණට කවදාවත් අපි ගහලා නෑ..ඒක තමයි බෞද්ධයාගේ විශේෂත්වය..බෞද්ධයා වෛරීය වියයුතු නෑ..ඒක නිසා පල්ලි කුඩු කිරීමෙන් පලක් නෑ..අපි කල යුත්තේ කුඩු කරපු පිලිම වලට හරියන්න එක පිළිමයක් හරි හදන එකයි...මේ පන්සලේ ඕනතරම් ගල් තියෙන්නේ...පුළුවන්නම් වැඩේ පටන් ගන්න“


ස්වාමීන් වහන්සේ එදා ගම්වැසියන්ගේ හිත හදන්නට කීවේ එවැන්නකි. 2001 වසරේ වෙසක් පෝය මැයි 5 යෙදී තිබුණු අතර ඊට දින කීපයකට පෙර ගමේ කුඩා දරුවන් එකතුකල මුදලක් ලොකු හාමුදුරුවන් අතට බාර දුන්හ.


“මොකටද දරුවෝ මේ සල්ලි...?“


“ලොකු හාමුදුරුවනේ පිළිමය හදන්න..“


එදා පුංචි බෞද්ධයන්ගේ අපේක්ෂාව ලෙසින් එදා පුංචි මුදලකින් ආරම්භවූයේ ඉන් දශකයකට පසු ලෝකයම මවිතකරන නිමැවුමක් බව කිසිවෙක් නොසිතන්නට ඇත. එයින් ඇරඹියේ දැනට ලොව විශාලතම ශෛලමය සමාධි  බුදු පිළිම වහන්සේය.


    කුරුණෑගල නගරයට පැමිණ මහනුවර මාර්ගයේ මල්ලවපිටිය හන්දියෙන් රිදීගම මාර්ගයේ ගමන්කර රිදීගම හන්දියෙන් කැප්පිටිගල මාර්ගයේ කිලෝමීටර 3 ක් පමණයන විට රම්බඩගල්ල මොණරාගල විහාරස්ථානය පිහිටා ඇත. පැරණි විහාර සම්ප්‍රදායෙන් සමන්විත මෙම විහාරයේ භූමිය පුරා පිහිටා ඇත්තේ පිහිටි කළුගල්ය. උස අඩි 67.5 ක් උසැති මෙම පිළිමය නිර්මාණය කරන්නේ එවැනි පිහිටි ගල් පර්වතයකය.


   2002 වර්ෂයේ සැප්තැම්බර් 13 වැනි දින අරමුදල තවත් සවිමත් කරමින් මෙන්ම සමස්ත ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයට භාවිතාමය විසඳුමක් පෙන්වමින් කොළඹ ඊශ්වරන් බ්‍රදර්ස් ආයතනයේ අධිපති ඩී. ඊශ්වරන් මැතිතුමා මේ කටයුත්තට විශාල මුදල් දායකත්වයක්ද දී කමිටුවට එක්වන්නේ මේ බුදු පිළිමය නිර්මාණය ගැන පැහැදුනු සිතින් සම්මාදම්වීමෙන්ය. තමන්ගේ ජාති ආගම් ගැන සිතා පටු වාද වලින් මිදී එතුමන් බෞද්ධ උරුමයක් බිහිකිරීමට අදටත් කැපවී සිටීම අගය කල යුතුය. එතුමන්ගේ මැදිහත්වීමේ ඇරඹි එම කටයුත්තට එතුමන් විසින්ම ශිල්පීන් සෙවූ අතර වසර දහස් ගණනක ශෛල වාස්තු නිර්මාණවල මහා පරපුරක උරුමකම් කියන ලංකාවෙන් ඒ සඳහා ශිල්පීන් සොයාගත නොහැකිවීම කණගාටුවට කරුණක් විය. නමුත් එයින් නොසැලුණු විහාරාධිපති හිමියන් ඇතුලු කමිටුව ඉන්දියාවෙන් එම්.මුත්තයියා නැමති ශිල්පියා ප්‍රමුඛ කණ්ඩායම හා ලංකාවේ ශිල්පීණ් පිරිසක් ඒකාබද්ධකර වැඩ කටයුතු ඇරඹීය.


  ක්‍රි.ව 1215 පසුව ලංකාවේ සෙල් පිළිම ඉදිව නැත. එයට හේතුව ඉතිහාසය පිරික්සීමෙන් සිතාගත හැක. එයට විසඳුමක් ලෙසින් ඇරඹි මෙම කටයුත්තට මේ වනවිට වසර 12 ක් ගතවී ඇති අතර සැදැහැවත් පින්වතුන්නේ දායකත්වයෙන් එකතුකල රුපියල් ලක්ෂ 440ක් වැයවී ඇත. ඒ ශක්තියෙන් මේ වනවිට 

  • බුදු පිළිම වහන්සේ
  • ඉදිරිපස පොකුණ
  • ශෛලමය කැටයම් වැට
  • මල් ආසන කීපය
  • සෙල් පඩිපෙල
  • මුරගල් හා කොරවක් ගල්
යන සමස්ත නිර්මාණවලින් 80% ක පමණ වැඩ අවසන් කර ඇත. අතිගරු ජනපතිතුමන්,අමාත්‍යවරුන්,රාජ්‍ය ආයතන ප්‍රධානීන් මෙන්ම තානාපතිවරු පවා පැමිණ මෙය නරඹා එමෙන්ම සිය කාර්යමණ්ඩල සමග පැමිණ මුදලින් මෙන්ම ශ්‍රමයෙන්ද මෙම කටයුත්තට දායකවී ඇත.


   අතීතයේ මෙවන් මහා සෙල් පිලිම අප අද නැරඹුවද ඒවා ඉදිකල අයුරු දැකීමට අපට නොහැකිවුවත් අප පින්කර ඇති බව සනාථ කරමින් රම්බඩගල්ල විහාරයේ සමාධි බුදු පිලිම වහන්සේට දායකවීමට හා ඉදිකිරීම් නැරඹීමට අපට හැකිවිය. මේ මහා ආශ්චර්යමත් නිර්මාණය සැබවින්ම ලක්දිවට බුදුන් නැවත වැඩම කිරීමකි. හරසම්පන්න මෙන්ම කාලාන්තරයක් උරුමයට වගකියන නිර්මාණයකි. ඒ නිර්මාණයට දායක වීමට සමස්ථ ලංකාවාසීන්ටම අවස්ථාව සැලසී ඇත. ඔබට හැකිපමණින් එයට දායක විය හැකිනම් 


රිදීගම - ලංකා බැංකුවේ 532-1009531
රිදීගම - මහජන බැකුවේ 8160023576


යන ගිණුම්වලට සැදැහැවත් බොදු දායකත්වය ලබාදෙන ලෙස ඉල්ලා සිටිමු. ඒ දායකත්වය ඔබට දිනක යම් සංතුෂ්ටියකට හේතුවනු ඇත. ඒ කෙසේදයත් එදා අනේපිඬු සිටාණන් ජේතවනාරාමය නිමවා පූජා කර එය දැකීමෙන් ලැබුවාවූ නිරාමිස ප්‍රීතිය වැනි ප්‍රීතියකි.

7 comments:

  1. meka hamotama wadagath wena post ekak ayya.....ayeth ennamko me patte...... :)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම..ඔයා එන්න ඕන

      Delete
    2. aniwaryenma enawa ayya....

      Delete
  2. මේ පිළිමය නෙලන ප්‍රතිමා ශිල්පියා ශ්‍රී ලංකාවේ ගඩලාදෙණිය, ලංකාතිලක පිළිම ගෙවල් නිර්මාණය කළ ස්ථපතිවරුන්ගේ පරපුරේ කෙනෙක්ලු

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අලුත් කරුණක් එකතු කරාට

      Delete
  3. අගනා පෝස්ටුවක් ..:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝදරී..

      Delete