Oct 20, 2012

හන්තාන සිසිල දුන් එකම එක සිව් වසර



හන්තාන ගැන පේරාදෙණිය ගැන බොහොමයක් සාහිත්‍යධරයන් අතින් ලියවුණු නිර්මාණවල බරිත සාමාන්‍ය අගය ගෙන බැලුවම හන්තාන කියන්නේ නිර්මාණයකට කොතරම් සුන්දර වස්තු බීජයක්ද කියලා ඕනෑම හිතකට වටහා ගන්න පුළුවන්. ප්‍රේමය හෝ වේවා සෞන්දර්ය හෝ වේවා හන්තානට උරුම වෙන්නේ වෙනස්ම ආකාරයකට. එයටම අනන්‍ය ආකාරයකට. ඈත තියාම උදෑසන මීදුම් සළුවේ දැවටෙන හන්තාන දැක්කම කෙනෙක්ට හිතන්න පුළුවන් කඳුකරයට උරුම ගස් වැල් කටුපඳුරු වලින් වැහිලා ගිහ පස් කන්දක් මෙච්චර ආදරය හෝ සෞන්දර්ය වපුරන්නේ කොහොමද කියලා. ඒක තමයි භෞතික විඳීමකට වඩා ආධ්‍යාත්මික විඳීමක ප්‍රබලත්වය. භෞතිකව විඳින දේවල් වලින් නොලැබෙන තෘප්තිය ආධ්‍යාත්මිකව විඳින්න පුළුවන් කියන එකට හන්තාන හොඳ සාධකයක්.

   පේරාදෙණියේ සරසවිය තුල නිතර ඇස ගැටෙන පෙම් කතාවලට තුන්වෙනි පාර්ශවයක් විදියට හන්තාන නොගැටෙන්නේ බොහොමත් කලාතුරකින්. මෙහෙම හන්තානේ සුන්දරත්වය සිය පෙම්කතාවට මුසු කරන ආදරණීය හිත අතරින් කීයෙන් කීයක්නම් විතරක්ද ජීවිතය පුරාවට භෞතිකව රැඳෙන්නේ. වැලිගම ප්‍රදේශයේ දරුවන්ට සිප්සතර උගන්වන පේරාදෙණිය සරසවියේම උගත් වැලිගම “තුන්වෙනි පරපුර“ සංවිධානයේ හිතවත් රුවින් බුද්ධික සහෘදයා තුන්වෙනි පරපුර සංවිධානයේ නිල සඟරාව වන “ප්‍රබුද්ධ ලංකා“ සඟරාවට මෙවර අපූරු ලිපියක් එක්කරලා තිබුණා. එයින් කියවුනේ ආදරය යනු වෙන්ව ගිය පසු දැනෙන දෙයක් බවයි..ඔබ එයට විරහව ලෙස නම් යෝජනා කරන්නට පුළුවන්. රුවින් දකින විදියට ආදරය යනු සැබෑ ලෙසම වෙන්ම ගිය පසු දැනෙන දෙයකි. ලොව අමරණීයව ඇත්තේ වෙන්ව ගිය ආදර කතා මිස එක්වුණු කතා නොවන බව ඔබ දන්නවා ඇති, එසේම ආදරය සදාකාලික වන්නේ එක් නොවුණහොත් බව සම්මත ප්‍රකට කියමනකි.


    නිතර යා වෙන සිත් සිව් වසරකින් නිමාවන පෙමකට කඳුළු සලන වස්තුවක් බවට පත්වන්නේ සරසවි දිවියෙන් ඉක්බිති ප්‍රායෝගික දිවි පෙවතකට ඒ ආදරය ප්‍රායෝගික නොවීම හෝ සමාජමය හැලහැප්පීම් වන්නට පුළුවන්. නමුත් එවැනි පෙම් පුවත් කොතරම් සාහිත්‍යට අවශ්‍යද යන්න බිහිවූ නිර්මාණ කන්දෙන් මනාවට පසක් කල හැක. 

   එදා ආගිය තැන් වල මතක හන්තාන සමග මතකයට එන විට ගස් ගල් වලින් වැසී ගිය කඳු පෙලට වඩා කාලයේ වැලි තලාවෙන් වැසීගිය සුන්දර අමරණීය ආදරයේ මතක හදවතට දැනීමේ අරුමය කිනම්ද. එසේ සරසවියේ බැඳී පසුව වෙන්වුනු හිත දිනෙක ගලහා හන්දියෙන් ගම්පොල පාරේ ඉදිරියට ඇදෙන විට හන්තාන දුටුව හොත් එදා කාලයේ වැලිතලාවට යට වූ නොමියෙන පෙම සිහිගැන්වෙනු ඇත. එවිට හිතට දැනෙන්නේ විරහවමද? නැත..අන්න එවිට රුවින් බුද්ධික නිවැරදිය. ආදරය දැනෙන්නෙ වෙන්ව ගිය පසුවය. නොමැතිනම් හන්තාන හන්තානක් ලෙස පෙම්වත් හිතකට නොදැනෙනු ඇත.

හන්තාන කඳු වැටිය
එදා වාගෙයි අදත්
මහවැලිය පුරුදු සේ
ගලායාවී හෙටත්
සරසවියෙ තුරුවදුලු
මිලින වී නෑ තවත්
එහෙත් අද සොඳුරියේ
ඔබ කොහිද මා කොහිද

එදා අප පෙම් වදන්
දෙඩූ ලිය මඩුලු යට
පෙම්වතුන් පෙම් වදන් දොඩනවා
අප සමග නිදා සිටි 
අවන්හල දෙසුම්හල
පුරුදු සේ බලාගෙන ඉන්නවා

මේ බිමේ සැඟව ඇති
සිව් වසක අතීතය
යලි යලිත් මතකයට නැගෙනවා
මහත් වෙහෙසක් දරා
සඟවන්න  තැත් කරත්
නෙතු අගට කඳුළු බිඳු නැගෙනවා

(ගායනය - අමරසිරි පීරිස් ශූරීන්)

4 comments:

  1. හ්හ්ම්ම්ම් බලාගෙන ගියාම රුවින් බුද්ධික ගෙ කතාව ඇත්ත තමයි...

    ReplyDelete
    Replies
    1. දැන් දෙදරු පියෙක් වෙන රුවින්ට ඒ දේ වැටහෙන්න ඇත්තේ මීට ගොඩක් කාලෙකට ඉස්සර

      Delete
    2. ඇත්ත වශයෙන්ම රුවින් ඒ ලිපිය තුලින් ඉදිරිපත් කල සත්‍ය කතාවම සමාජ සාධක ඇතුලෙන් නිරූපණය වෙන්නෙත්

      Delete
  2. හ්ම්ම්... මාර ලස්සන වචන ටිකක්..

    ReplyDelete