Nov 4, 2025

අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්‍රශ්නයක් ද?

 


රජයේ පාසල් පැවැත්වෙන කාල සීමාව සංශෝධනයක් සම්බන්ධයෙන් පක්ෂ සහ විපක්ෂ වාද-විවාද ඇතිවෙමින් තිබෙනවා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් විරෝධයක් දක්වන බවක් පෙනෙන්න තියනවා. ශිෂ්‍යයන්ගේ පැත්තෙන් වුනත් මේ අදහසට එකඟවෙයි කියලා හිතන්න තියන ඉඩකඩ අඩුයි. ලෝකයේ ඉහළ සහ විධිමත් අධ්‍යාපන ක්‍රමවේද අනුගමනය කරන එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ෆින්ලන්තය, ස්වීඩනය, ජපානය වගේම ආසන්නයේ තියන ඉන්දියාව සහ මැලේසියාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සලකලා බැලුව මේ අධ්‍යයන කාලය, දරුවන්ගේ සංවර්ධනය සහ ගුරුවරුන්ගේ මැදිහත්වීම ගැන ටිකක් හොයලා බලන එක වැදගත්.

අධ්‍යාපනය සම්බන්ධයෙන් ගොඩක් වෙලාවට සෘජු ඉගැන්වීම් කාලය සහ අතිරේක ක්‍රියාකාරකම් වගේම ස්වයං-අධ්‍යයන, බාහිර අධ්‍යයනයන්ට වැය කරන කාලය විදිහට කොටස් දෙකකට වෙන් කරලා හඳුනගන්න පුළුවන්. සාමාන්‍යයෙන් සෘජු ඉගැන්වීම් කාලය (අනිවාර්යය) කලින් කියපු රටවල් කිහිපයේ එකිනෙකට වෙනස් අගයන් තමයි දකින්න ලැබෙන්නේ.

Oct 30, 2025

නැපෝලියන් නම් ජීවිත දිගහැරුම - පළමු කොටස

 


හරියටම 1769 අවුරුද්දේ අගෝස්තු මාසේ 15 වැනිදා අජස්සියෝ නගරයට බොහොම සෞම්‍ය හිරු කිරණ පතිත වෙමින් තිබුණා. අජස්සියෝ කියන්නේ ඒ කාලේ කොර්සිකන් රටේ අගනුවර. ප්‍රංශ අධිරාජ්‍යයට අයිතිවෙලා තිබුණු මේ කොර්සිකාව මධ්‍යධරණී මුහුදේ පිහිටලා තිබුණු දූපතක්. ධීවර කර්මාන්තයට තිබුණු ප්‍රසිද්ධිය වගේම නාවික ගමනාගමනයේ ප්‍රධානතම සංධිස්ථානයක් වීමත් එක්ක ප්‍රංශ අධිරාජ්‍යයට කෝර්සිකාව කියන්නේ බොහොම වැදගත් තැනක්. 

මේ කලින් කියපු දවසේ කොර්සිකන් දූපතේ, අජස්සියෝ නගරයේ මුහුදු වෙරළේ ඉඳන් සැතපුම් කිහිපයක් ඈත නගරයේ කෙළවරක නිවසකින් පුංචි දරුවෙක්ගේ හැඬීමක් ඇහුණා. ඒත් ඒ වෙද්දිත් මේ පුංචි හඬ පරයමින් අජස්සියෝ නගරයේ වගේම කොර්සියන් දූපත පුරාම පැතිරෙමින් තිබුණේ විරෝධතා හඬ විතරමයි. ඊට අවුරුද්දකට කලින් ජෙනෝවා රාජ්‍යට අයිතිවෙලා තිබුණු කොර්සිකන් දූපත ප්‍රංශ අධිරාජ්‍යයා මිළට ගත්තා. ඇත්තම කිව්ව‌ොත් බලෙන් අල්ලගන්න කලින් විකුණන්න සිද්ධවුණා.

ඒත් මේ දූපතේ ජීවත්වුණු ජනතාව ප්‍රංශ අධිරාජ්‍යයාගේ පාලනය පිළිගන්න සූදානමක් තිබ්බේ නෑ. අවුරුද්දක් ගතවෙලත් ජනතාව විවිධ විරෝධතා දක්වමින් ප්‍රංශ පාලනයට විරුද්ධව කැරළි ගැහුවා. ඒ කැරලි කෝලාහල අස්සේ තමයි මේ පුංචි කොළු පැටියා අජස්සියෝ නගරයේ උපදින්නේ. හැබැයි කව්රුවත් හිතුවේ නෑ කවදහරි මේ කොළු පැටියා ප්‍රංශයේ විතරක් නෙවෙයි, මුළු ලෝකයේම ඉතිහාසය වෙනස්කරන තරම් බලවතෙක් වේවි කියලා. අඩුම තරමේ අළුත උපන් කොළු පැටියා අතේ තියාගෙන, කඳුළු සලමින් හුරතල් බලමින් හිටපු අම්මාවත් මේ ගැන දශමයක්වත් හිතන්නේ නැතිව ඇති. ඒත් ඉතින් හැම අම්මෙක්ටම තමන්ගේ පුතා රාජ කුමාරයෙක් කියන එක බොරුවක් නම් නෙවෙයි.

Oct 27, 2025

ශ්‍රී ලංකාවේ දරුවන් පාසල් හැරයාම සහ අපරාධකරුවන් බවට පත්වීම


ඉතිහාසයේ ඉඳන්ම ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සැලකියයුතු උනන්දුවක් වගේම ප්‍රමුඛතාවක් තිබුණා කියන එක අවශ්‍ය තරම් සාක්ෂි පොත්පත්වල වගේම කතා සාහිත්‍යයේත් තියනවා. සමහරවිට ඒ නිසා වගේම නිදහස් අධ්‍යාපනය වගේ සාධකත් එක්ක අදටත් ලංකාවේ අධ්‍යාපනයට යොමුවීමේ ප්‍රවණතාවය සාපේක්ෂව වැඩියි.

උදාහරණයක් විදිහට ලෝක බැංකුවේ වාර්තාවකට අනුව 2022 අවුරුද්දේ ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනයට දරුවන් ඇතුලත් කිරීම 95.9% ක්. සරලවම කිව්වොත් වයස අවුරුදු 5-6 අතරේ දරුවන් 100 දෙනෙක්ගෙන් 96 දෙනෙක් විතර පාසලේ ප්‍රාථමික අංශයට ඇතුලත් වෙනවා. හැබැයි දරුවන් 4 දෙනෙක්ට විවිධ හේතු නිසා ඒ අවස්ථාව ලැබෙන්නේ නෑ.

හැබැයි මේ දරුවන් අතරින් ද්විතියික අධ්‍යාපනයට යොමුවෙන ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් අඩුවෙනවා. ඒ නිසා අධ්‍යාපනයේ කුසලතා වගේම වෘත්තියක් වෙනුවෙන් අවශ්‍ය කරන දැනුම ලබාගන්න පුළුවන් කාලය වෙද්දි දරුවන් සැලකිය යුතු පිරිසක් එක්කෝ පාසල් අතහැරලා යනවා, නැත්නම් පාසලට එන්නෙම නෑ.

Sep 6, 2024

පිළිතුරු තැපෑලෙන්


ඊයේ දවසේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භවුණා. ඕනෑම මැතිවරණයකදි තමන්ගේ මතය මුලින්ම ප්‍රකාශ කරන්න අවස්ථාව ලැබෙන්නේ රාජ්‍ය සේවකයන්ට. තමන්ගේ රාජකාරීමය බැඳීම් එක්ක බොහෝවිට තමන්ගේ දේශපාලන මතවාදය සඟවගෙන කටයුතු කරන්න සිද්ධවෙන රාජ්‍ය සේවකයන්ට, අනිත් ඡන්දදායකයන්ට කලින් තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්න ලැබෙනවා.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම් සම්බන්ධයෙන් ඊයේ සහ අද පුවත්පත් වාර් තාවලින් කියවුණේ, මේ පාර වෙනදාට වඩා තැපැල් ඡන්ද ප්‍රකාශ කරන්න රාජ්‍ය සේවකයන්ගේ උනන්දුව වැඩියි කියලා. බොහෝ තැන්වල් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම 100% සටහන් වෙලා තිබුණා කියලත් පුවත්පත් වාර් තා සඳහන් කරනවා.

අලුත් පරපුර ඉල්ලන්නේ පරණ ජනාධිපති කෙනෙක්ද?

 


තව සති කිහිපයකින් ලංකාවේ ජනතාව ඉතා තීරණාත්මක තෝරාගැනීමක් කිරීමට සිදුවනු ඇත. එක පැත්තකින් එකී තීරණය සමස්ත රටේ ඉදිරි වසර කිහිපයේ ඉරණම තීරණය කරන තෝරාගැනීමක් පමණක්ම නොව, ඇතැම්විට රටේ අනාගත ඉරණම තීරණය කරන තෝරාගැනීමක් විය හැකිය. දැවැන්ත අර් බුද ගණනාවක් සමග පොරබදන, ඉතා අස්ථාවර අනාගතයක පෙර නිමිති ඇති රටක පාලකයා තේරීම ඒ තරමටම බරපතල තෝරගැනීමක් බව නැවත නැවතත් කිවයුතු නැත.

මීට මාසයකට පමණ පෙර ලංකාවේ වගේම ඇමරිකාවද තමන්ගේ ඊළඟ ජනාධිපතිවරයා තෝරාගැනීම සම්බන්ධයෙන් වන නිල නිවේදනය නිකුත් කරනු ලැබීය. ව්‍යවස්ථානුකූලව වත්මන් ඇමරිකා ජනපති ජෝ බයිඩ්න්ට දෙවැනි වරටත් මැතිවරණයට ඉදිරිපත්විය හැකි බැවින් ඩිමොක්‍රටික් පක්ෂයට ඔහු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්කල හැකිව තිබිණි. රිපබ්ලිකන් පක්ෂය පැත්තෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් තමන්ගේ දෙවැනි වරම අපේක්ෂාවෙන් තරගයට පිවිසෙන බවද ආරංචි මාර් ග ඔස්සේ වාර් තා විය.

Jul 8, 2024

කඳුළු සලන ‘පැරඩයිස්‘

 

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ මහත්මයා අධ්‍යක්ෂණය කරපු ‘පැරඩයිස්‘ චිත්‍රපටය ඊයේ රාත්‍රියේ නරඹන්න පටන් ගනිද්දිම නිරායාසයෙන් මතක් වුණේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් විසින් ඡායාරූප සහ ප්‍රකාශන සහිතව මීට දශක කිහිපයකට කලින් ජනගත කරපු ‘කඳුළු සලන පාරාදීසය‘ කෘතිය. ඒ දෙක අතර සම්බන්ධය මොකක්ද කියන එක සම්පූර් ණයෙන්ම වගේ දේශපාලනිකයි කිව්වට වරදක් නෑ.

පුද්ගලිකව මම වැඩි කැමැත්තක් දක්වන්නේ චිත්‍රපටිය නරඹලා ඉවරවෙලා සිනමා ශාලාව ආලෝක ගැන්වුනත්, පුටුවෙන් නැගිටින්න නොහිතෙන මට්ටමට මාවම කරකවලා අතාරින් මාදිලියේ චිත්‍රපටිවලට. ඒක ක්‍රියාදාම චිත්‍රපටයක් ද, නැත්නම් කතාව හොඳටම පටවලවපු රහස් පරීක්ෂක කතාවක් ද කියන විභේදනය වෙනුවට කතා සාරය ඇතුලේ හිතන්න සෑහෙන්න දේ ඉතිරි කරලා අවසන් කරන චිත්‍රපටයක් නම් ඒ පුද්ගලිකව සෑහෙන්න රසවිඳින නිර් මාණයක්.

‘පැරඩයිස්‘ එහෙම එකක්ද? මම මගෙන් ප්‍රශ්න කලා. ‘ඔව්‘ පැරඩයිස් එහෙම තැනක තියන්න පුළුවන් විදිහේ චිත්‍රපටයක් විදිහට මම මගේ සටහන ඇතුලේ වගේම මගේ චිත්‍රපට මතක ගබඩාව ඇතුලේ වර් ගීකරණය කරලා තියාගන්නවා. ඒ ඇයි කියන එක මම මෙහෙම විස්තර කරන්නම්.

Feb 15, 2024

නිවැරදි තැන සිටගන්නට බිය නොවන්න - To kill a Mockingbird (1962)

 


1930ට ආසන්න කාලවකවානුක කියන්නේ ඇමරිකාව ඇතුලේ වර්ගවාදී ගැටුම් ඉතා දැඩි විදිහට උද්ගතවෙමින් තිබුණ කාලයක්. කළු ජාතිකයන්ට එරෙහිව ඇමරිකානු සුදු හම ඇති ජනතාව ගෙනගිය කෘෘරතර ජාතිවාදී පිළිවෙතට එරෙහිව කළු ජාතිකයන් අතරින් අරගල බිහිවෙන කාලය. මේ අරගලය පනහේ දශකයෙන් පස්සේ මාටින් ලූතර් කිං ලා, මැල්කම් එක්ස් ලා අතට අරගෙන එහි ජයග්‍රහණය දක්වා ගමන් කළත් ශත වර්ෂයකට වැඩි කාලයක් තිස්සේ පැවතුන් වර්ගවාදී ගැටුම්වලින් සිදුවුණු හානිය කියලා නිමකරන්න බැරිවුණා.

To Kill a Mockingbird පොත 1960 දි සුප්‍රකට ඇමරිකානු සුදු හම ඇති ලේඛිකාවක් වන හාපර් ලී අතින් ලියවෙන්නේ මෙන්න මේ සිදුවීම් දාමය අතරේයි. 1962 දි රොබට් මුලිගන්ගේ නිර්මාණයක් විදිහට තිරගත වෙන To Kill a Mockingbird චිත්‍රපටයට පදනම්වෙන්නේ හාපර් ලී ගේ මේ කෘතියම තමයි. මේ කෘතිය 70 දශකයෙන් පස්සේ ලෝකය පුරාම භාෂා ගණනාවකට පරිවර්තනය වෙමින් ජනප්‍රය වුණා. ඒ ජනප්‍රියත්වය වගේම මේ පොතේ කතාව කොයිතරම් වටිනා එකක්ද කියනවනම් බ්‍රිතාන්‍යයේ පුස්තකාලය මේ පොත නම්කලේ බයිබලයටත් වඩා වටිනා කෘතියක් විදිහට. ඒ නිසාම ‘සෑම වැඩිහිටියෙක්ම මැරෙන්නට කලින් කියවිය යුතුම පොතක්‘ විදිහට To Kill a Mockingbird නම් කරන්න ඔවුන් පසුබට වුණේ නෑ.

Sep 4, 2023

මිනිසා සහ සතාගේ වෙනස

 


පහුගිය අවුරුද්දේ අගෝස්තු මාසේ මැලේසියාවේ, ක්වාලාලාම්පූර් නගරයේ පැවැත්වුණු වැඩමුළුවකට සහභාගිවෙන්න ලැබුණා. රටවල් දොළහක් නියෝජනය කරමින් නියෝජිතයෝ සහභාගිවුණු මේ වැඩමුළුවේ මුල්ම දවසෙදි මට ආචාර්ය රාජීස් හඳුනගන්න ලැබුණා. අවුරුදු හැත්තෑවකට ආසන්න වුනත් ඉතාම හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකරන ඇයගේ ශ්‍රී ලාංකික සම්භවය නිසා බොහොම ඉක්මණින් මම එක්ක හිතවත් වුණා.

ඒ වෙද්දිත් ආචාර්ය රාජීස් මැලේසියාවේ ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය සංවිධාන එකමුතුවේ විධායක අධ්‍යක්ෂිකාව විදිහට කටයුතු කරමින් හිටියා. ඒ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඇති පුළුල් දැනුමත්, බොහොම ව්‍යක්ත කථනය වගේම නිතරම මුහුණේ රැඳුණු හිනාව නිසා ඇය බොහොම ඉක්මණින් කෙනෙක්ගේ හිතට අල්ලනවා.

Aug 22, 2023

අමාරු කාලයක්..



පාන්දර සාගරිකා දුම්රියේ මගේ දකුණු පසින් ඉඳගත්ත මහත්මයා එයාගේ කමිසයේ උඩ සාක්කුවෙන් එළියට ගත්ත සීයේ නෝට්ටු කිහිපයක් ගණන් කරලා ආයෙත් සාක්කුවට දාගත්තා. ඊට පස්සේ ලොකු හුස්මක් අරගෙන මගේ දිහා බැලුවා.

‘හැමෝටම අමාරු කාලයක් මහත්තයෝ..’

ඒකට වචනයෙන් දක්වන්න ඕන මොනවගේ ප්‍රතිචාරයක් ද කියලා හිතාගන්න බැරිවුණු මම තොල්පට තදරකරගෙන හෙමින් සීරුවේ ඔලුව කිහිප වරක් සොලවමින් උත්තරයක් දුන්නා. 

Sep 25, 2022

සුදු වෑන් එක - පූස් කොලම 4

 


තෙල් ප්‍රශ්න නිසා වැඩට යන්නේත් එන්නේත් බස් එකෙන් වීමත්, ඒ නිසාම උදේ හවස දහ පහළොස් දෙනෙක් කර තබාගෙන බස් එකේ එන්න වීමත් නිසා ඇඟට දැනෙන මහන්සියත් නිසා බස් හෝල්ට් එකේ සිට ගෙදර එන්නේ ඇවිදින මළමිනියක් පරිද්දෙන් යැයි කීවොත් වැරදි නැත.

නිවසට ඇති කිලෝමීටර එකහමාරකට ආසන්න දුර ගෙවාගෙන නිවස අසලට එද්දී දුර තියාම පෙනුනේ නිවස ඉදිරිපිට නතර කර ඇති නාඳුනන සුදු වෑන් රථයකි. මොහොතක් නතරව කල්පනා කර බැලුවත් ගෙදරට පැමිණෙන බවට දැනුම්දුන් ඥාතියෙක් හෝ හිතවතෙක් ගැන මතකයට ආවේ නැත. හදිසියේ නිවසට පැමිණිය හැකි කෙනෙක් ගැනද නිච්චියක් නැත. සුදූ වෑන් රථයක් ගෙදර ඉදිරිපිට නතර කර තිබියදී බියවීමට අපිට ඕනෑ තරම් කාරණා ඇති නිසා මම අන්තිමට කල්පනා කර බැලුවේ පහුගිය දින කීපයේ සමාජ මාධ්‍යයේ තැබූ සටහන් සහ හුවමාරුකරගත් දේවල් ය. ඒවාද ඒ තරම් බරපතල දේශපාලනික ඒවා නොවන නිසා කුතුහලය සංසිඳවා ගන්නට නිවස තුළට ඇතුල් වෙන්න තීරණය කලා.

රනිල් ජනාධිපති?? - පූස් කොලම 3

 


‘ඒයි.. මේ බලන්නකෝ අනේ කව්ද ඇවිල්ලා ඉන්නේ කියලා..’

පත්තරේ බලන්න ගත්ත ගමන් කුස්සිය පැත්තෙන් ඇහුණු නෝනාගේ කෑගැහිල්ල එක්ක උඩ ගියපු මම පත්තරේ නවලා පුටුව උඩින් තියලා අඩියට දෙකට කුස්සිය පැත්තට ගියා. ඒ කෑගහපු කෑගැහිල්ලෙ හැටියටනම්ම දියසෙන් කුමාරයා කුස්සිය පැත්තෙන් මතුවෙලා වෙන්නත් බැරි නෑ කියලා මට නිකමට හිතුනා.

‘මේ බලන්නකෝ අනේ...’

කුස්සියේ පුටුව උඩට වෙලා හතිදදා ඉන්න පූසා ව දැක්කේ එතකොටයි. මාස ගණනාවක් තිස්සේ අතුරුදහන් වෙලා හිටපු පූසා හදිස්සියෙම කුස්සියට දුවගෙන එනවා දැකපු නෝනා සන්තෝසේ වැඩිකමට හාල් මැස්සෝ හොද්දට ලුණු කුඩු බෝතලේම ඒ වෙද්දිත් දාලා ඉවරයි. අතුරුදහන් ලයිස්තුවට දාලා ආයේ එන එකක් නෑ කියලා හිත හදාගෙන හිටපු පූසා ආයෙත් ඇවිත් ඉන්නවා දැක්කම හිතට සෑහෙන්න සතුටක් දැනුනා. කිළුටු වෙලා ඒ මදිවට ඇදිලා ගිහිල්ලා හිටපු පූසා සෑහෙන්න දුෂ්කර මාස කීපයක් ගතකරලා කියලා තේරුණා.

පොහොර තහනම හිංගලෙන් - පූස් කොලම 2

 


වැඩ ඇරිලා හවස ගෙදර එද්දි ගේට්ටුවෙන් ඇතුලට යන්නත් කලින් දැක්කේ නෝනා ඉස්තෝප්පුවට වෙලා මග බලාගෙන ඉන්නවා මූණේ හිනා පොකුරක් තියාගෙන. අනේ ඉතින් කසාද බැඳලත් අවුරුදු ගාණක් ගිහිල්ලා මේ වගේ මග බලාගෙන ඉන්න බිරින්ඳෑ කෙනෙක් ලබන්න ස්වාමිපුරුෂයෙක් කොච්චර වාසනාවන්තද කියලා හිතාගෙන ගේ පැත්තට ගියා. අඩියක් දෙකක් ඉස්සරහට යන්න උනේ නෑ නෝනා දුවගෙන ඇවිත් බෑග් එක ඉල්ලගත්තා. ඉල්ලගෙන අතිනුත් අල්ලගත්තා කවදාවත් නැතිව.

‘මේ ඒයි දන්නවද වැඩක්?..’ නෝනා විශාල සතුටකින් මගෙන් ඇහුවා.

‘නෑනේ..මොකක් ගැනද?’ මොකක්හරි අමතකවුණු දෙයක්වත් තියනවද කියලා කල්පනා කරන ගමන් මම කිව්වා.

‘අන්න ජනාධිපතිතුමා රසායනික පොහොර ආනයනය තහනම් කරලා ගහපු ගැසට් එකත් රිවස් කරලා.. මෙහෙම ගිහින් උන්දෑ කසාද සහතිකෙත් රිවස් කරයිද දන්නේ නෑ..’ 

සර්ප්‍රයිස් පාර්ටි එක - පූස් කොලම 1

 


පෝය දවසේ රෑ අනුරාධපුරේ හදපු අලුත් චෛත්‍යය ‘සඳහිරු සෑය’ දැකපු වෙලාවේ ඉඳන් නෝනා ආවේසවෙලා වගේ ආණ්ඩුවට බැණ බැණ ඉන්නවා. නෝනාගේ කතාවේ වරදකුත් නෑ, රටට මෙච්චර අමාරු වෙලාවක මිනිස්සුන්ට හරියට කන්න අඳින්නවත් නැතිව නන්නත්තාර වෙලා හිටිද්දි වියදම් කරලා චෛත්‍යය විවෘත කරන්න තරම් ආණ්ඩුව මුග්ධද කියලා නෝනා ප්‍රශ්න කරනවා. කුස්සියේ විනාඩි දෙක තුනක් උයනවා හැන්ද අරගෙන සාලෙට ඇවිත් ඇහෙන ඇහෙන නිව්ස් එකක් ගානේ ආණ්ඩුවට බනිනවා.

‘මම නම් ඔය සෑය විවෘත කරපු එකේ වැරැද්දක් දකින්නේ නෑ. මොකද දැන් ඕක හදලත් සෑහෙන්න කාලයක් වෙනවනේ. අනිත් එක මහින්ද මහත්තයා ඉන්න වයසත් එක්ක ඕක දැන්ම ඉවරකලේ නැත්තනම් උන්දැට ඕක බලන්නවත් වෙයිද දන්නේ නෑ.. අන්තිමට ඉතින් සද්ධාතිස්ස කුමාරයා කලා වගේ සෑයට සුදු රෙදි ගහලා තමයි වැඩ ඉවරයි කියලා පෙන්නන්න වෙන්නේ’ 

May 30, 2022

අම්මලා ගිනි උහුලන රටක් !

 


රාජකාරී ආයතනයේ එක පැත්තක කවුළුවෙන් බැලුවම අනිත් පැත්තේ SLIDA එකේ රථ අංගනයත් මිදුලත් පේනවා. ඒ කැටගල් අල්ලපු මිදුලේ අම්මා කෙනෙක් ගිනි අව්වේ බිම වාඩිවෙලා දැන් දවස් කීපයක් තිස්සේ ඒ කැට ගල් අතරේ වැස්ස එක්ක මතුවුණු පුංචි පුංචි තණකොල සහ පැල උදුරනවා. මට එතකොට මතක්වුණේ ප්‍රවීණ සාහිත්‍යවේදී නන්දන වීරසිංහයන්ගේ ‘දුම්මල ගලට ගිය අම්මා’ පැදි පෙල. ඒ එක්කම ඇස්දෙකට කඳුළු උනන එක නවත්තන්න මට බැරිවුණා. මොකද මට එතකොට මතක්වෙන්නේ මගේ අම්මව.

May 10, 2022

ඔබ සිහින දකින අළුත් ලෝකය සහ මිලේච්ඡත්වය

 


ඊයේ දවස මේ රටේ ඉතිහාසයේ ‘අඳුරු දිනයක්’. ප්‍රචණ්ඩත්වය, උසිගැන්වීම්, සාමකාමී විරෝධතාවන්ට පහරදීම්, හිංසනය සහ විනාශය එක්ක නපුර රජකරපු දවසක්. අද දවස වෙද්දිත් එහි ශේෂ පත්‍රය පැහැදිලි නැති නිසා වසර 33කට පසුව ක්‍රියාත්මක මහජන ආරක්ෂණ ඇඳිරි නීතිය යටතේ රටේ ජනතාව ඊළඟට වෙන්නේ කුමක්ද කියන අවිනිශ්චිතතාවයෙන් පසුවේ.

Feb 18, 2022

බොහෝ දේ කියාදුන් කාලයක් - Time teaches everything

 


මං හිතන්නේ පහුගිය මාස 6ටම මම මගේ යූ ටියුබ් චැනල් එකට එකම වීඩියෝ එකක්වත් දාන්න වුණේ නෑ. ඒ ජීවිතේ මට මුහුණදෙන්න සිදුවෙච්ච බොහොමයක් දේවල් නිසා. හරියටම පහුගිය අවුරුද්දක් වගේ කාලයක් කියන්නේ මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරපු කාලයක්. ඒ කාලේ ගතවුණේ මාව සහ මගේ ඉරණම සම්පූර්ණයෙන්ම වෙනස් කරමින්. මට හිතුනා එක පැත්තකින් මම මේ කොටුවෙලා ඉන්න තැනින් අඩියක් එළියට තියලා ආයෙත් චැනල් එක පටන්ගන්නත් එක්ක වීඩියෝ එකක් දාන්න, ඒක එක පැත්තකින් පාපොච්චාරණයක්, නැත්නම් ආත්ම කථනයක්. ඒ වගේම මට හා සමාන සිදුවීම්වලට මුහුණ දෙන ඕන කෙනෙක්ට පුංචි හරි උදව්වක් වේවි ඒකෙන් ගොඩ එන්න.

Jul 6, 2021

යළිත් දවසක හිනැහෙන්න - 09 කොටස

 


මෙතෙක් සියළුම කොටස් මෙතැනින් කියවන්න

දවස් කීපයක් තිස්සේ තද්ධිතට විවිධ රාජකාරී හේතු නිසා නගරයෙන් පිට යන්න සිද්ධවුණා. ඒ දවස්වල අනන්‍යාගේ සියළුම වගකීම් නැන්දා සහ රත්නේ මාමා බාරගන්න නිසාත් අවශ්‍ය ඕනෑම වෙලාවක චමීරා ඒ ආසන්නයේ රැඳෙන නිසාත් ඒ ගැන බයවෙන්න දෙයක් තිබුණේ නෑ. මැතිවරණ කටයුතු ඉලක්ක කරගෙන කරන ප්‍රසන්න සහ අප්‍රසන්න ප්‍රචාරණ යාන්ත්‍රණවලට ආයතනයක් විදිහට තද්ධිත රැකියාව කරන ආයතනය සම්බන්ධවෙලා හිටියත් බොහෝවිට තද්ධිත උත්සහකලේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලින් ඈත්වෙලා ඉන්න.

Jun 24, 2021

යළිත් දවසක හිනැහෙන්න - 08 කොටස


පසුගිය සියළුම කොටස් මෙතනින්

මිනිස්සුන්ගේ ජීවිතවලට එක් එක් කාලවලදි එක් එක් දේවල් වලට මුහුණදෙන්න වෙනවා. ඒ වගේම තමයි දේවල් නිසා ජීවිතේ ඇතිවෙන වෙනස්කම්වලට අනුවර්තනය වෙන්න වෙනවා. කාලෙකට ඉහත තමන් කියවපු පොතක මේ අදහස ගැබ්වෙලා තිබුණා කියලා තද්ධිතට මතකයි. ඕනම මනුස්සයෙක්ගේ ජීවිතය කියන්නේ බොහොම සරලව සුමටව ගලාගෙන යන ගඟක් නෙවෙයි කියන එක අමුතු දෙයක් නොවුණට ජීවිතේ නිදහස වගේම සැනසිල්ල අවශ්‍යම කාලයේදී ඒවා නැතිවීම මානසික තත්වයට කරන්න පුළුවන් ලොකුම බලපෑමක්.

Jun 19, 2021

යළිත් දවසක හිනැහෙන්න - 07 කොටස

 


පසුගිය කොටස් සියල්ලම කියවන්න

ගාලු පාරේ එහා මෙහා යන වාහන සිය ගාණක අධික ශබ්දය අතරේ පවා ඇයට ඔහුගේ හුස්ම පිට කිරීමේ ශබ්ද ඇහුණා. මිට මොහොතකට කලින් හිටි ඔහු වෙනුවට යම්කිසි අසීරුතාවයකට පත්වුණු ඔහුගේ මුහුණේ හැඟීම් කියවන්න ඇය උත්සහ කලා.

Jun 13, 2021

යළිත් දවසක හිනැහෙන්න - 06 කොටස

 


පසුගිය කොටස් සියල්ලම මෙතැනින්

ෆේස්බුක් පණිවිඩය එක්කම තිබුණු ඇගේ නම දැක්කම තද්ධිතගේ මුහුණේ අපූරු හිනාවක් ඇඳුනා. ඒක කොයිම වෙලාවකවත් ඔහු බලාපොරොත්තු නොවුණු පණිවිඩයක් නිසාම මොනවගේ උත්තරයක් දෙන්න ඕනද කියන එක හිතාගන්න බැරිවුණා.