Dec 2, 2011

උණුසුම් සුබ පැතුම්.... “සඳරාණි ප්‍රියලංකා සුදුසිංහ“

අපේ ඉසව්ව බ්ලොග් අඩවිය නිර්මාණය කරලා දැනට අවුරුද්දයි මාස අටක විතර කාලයක් වෙනනවා ඒ අතරේ අපේ ඉසව්වට ආඩම්බර වෙන්න පුළුවන් සිදුවීම් ගණනාවක් සිදුවුණා. ඒ අවස්ථාවන් රාශියක් පාඨකයන් එක්ක බෙදා හදා ගන්නත් ලැබුණා. ඒ අතරේ එවැනිම තවත් ඉහලින් ආඩම්බර විය හැකි, අහිංසක සතුටකින් ඒ ආඩම්බරය විඳින්න පුළුවන් සිදුවීමක් සිදුවුණා. 

ඒ තමයි සඳරාණි ප්‍රියලංකා සුදුසිංහ හෙවත් අපේ ඉසව්ව අතීතයේ පෝෂණය කල අතිදක්ෂ ලේඛිකාව ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතික පුවත්පතක් වන “මව්බිම“ පුවත්පතේ ප්‍රධාන ලේඛක මණ්ඩලයට එක්වීම හා ඇයගේ හරවත් සහ සවිමත් ලිපි මව්බිමේ ප්‍රකාශයට පත්වීම. එය සම්බන්ධයෙන් අපේ ඉසව්වට ආඩම්බර විය හැක්කේ ඇය අතීතයේ අපේ ඉසව්වේ ලිපි පලකරමින් අපේ ඉසව්වට සවියක් වූ සොහොයුරියක් වීම හේතුවෙන්.


සඳරාණි ප්‍රියලංකා සුදුසිංහ ගැන වචන කීපයක් කියනවනම් ඇය මාතර වේරගම්පිට ප්‍රදේශයෙන් ඉපිද මාතර මහාමායාවෙන් හෙළ කලාවේ යොවුන් තෝතැන්න වන පේරාදෙණිය සරසවියට පිවිසි සොහොයුරියක්. පේරාදෙණිය පුරාවිද්‍යා අධ්‍යනාංශයේ උපාධිදාරිණියක් වන්නට සිටි සමයේ ඇය අතින් ලියැවුණු පද ගෙත්තම් වලින් හැඩවුණු “සිත් අහස“ කෘතිය ඇයගේ ප්‍රතිභාව දැක්වීමේ ප්‍රමුඛ පියවරක් වුනා. නවකතා, කාව්‍ය, කාලීන හා සාහිත්‍යමය ලිපි සම්බන්ධව ඇයට සුවිශේෂී හැකියාවක් තිබීම විශේෂ ලක්ෂණයක්.

ඇය අපේ ඉසව්වට මුලින්ම එක්වන්නේ මීට අවුරුද්දකට පමණ පෙර නිරිත  දිග සුළඟ කියන කවියෙන්. ඉන් අනතුරුව ඇය සඳක් බව හැඟුනි මට  කවියෙන් තවත් ඉදිරියට ගොස් ආදර හිරු 1, ආදර හිරු 2, ආදර හිරු 3, ආදර හිරු 4  යන ආදරණීය සංකල්පනා ගෙත්තම තුලින් අපේ ඉසව්ව පෝෂණය කරමින් පාඨකයන් අතරට පැමිණියා. ඇගේ ලේඛන දිවියට අපේ ඉසව්වෙන් පුංචි හරි දිරියක් ලැබුණා නම් එය පිළිබඳ නිරාමිස ප්‍රීතියකින් අපේ ඉසව්ව පසුවෙන් බව සඳහන් කල යුතුමයි. ඇය සයිබරයට ගෙතූ ගෙත්තම් එලෙසින් වෙද්දී අද ඇය මව්බිම පුවත්පතට සවියක්වීම වර්තමානයේ පුවත්පත් කලාවේ උන්නතියට මහත් සේවයක් වනු ඇතැයි තදබල විශ්වාසයක් අපේ ඉසව්ව සතුව තිබේ.

සඳරාණි ප්‍රියලංකා සුදුසිංහ ගේ ගමන එතකින් නිමා නොවන ගමනකි. ඇයට තවත් යන්නට බොහෝ දුරක් ඇත. එබැවින් එයට අපේ ඉසව්වේ කෘතවේදී උණුසුම් සුබ පැතුම් එක්කිරීම ඉතාමත් සතුටෙන් යුතුව සිදුකරන්නකි.

3 comments:

  1. මගෙනුත් ඇයට සුභ පැතුම්...

    ReplyDelete
  2. ඔන්න මාත් ඇයට සුභ පැතුවා කියන්න.

    ReplyDelete
  3. සඳරාණි අක්කා අපේ කැම්පස් එකේ අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් ආලෝකමත් කළ කෙනෙක්

    ReplyDelete