Jan 23, 2014

පොලීසියෙන් ගේ වටලා මහා මෙහෙයුම


අබරං පාන්දර ජාමෙට නාගෙන එහෙම ඇවිත් ගෙදර ඉස්තෝප්පුවේ වාඩි වුණේ කෝපි කෝප්පෙකුත් හදාගෙනමයි. පාන්දර හීතලට හිරිගඬු පිපෙද්දි කෝපි කෝප්පය අබරංගේ හීතල ටිකක් විතර අඩුකරලා දුන්නා. ගෙදර උන්දැයි පුතයි නෑගමනක් ගියපු නිසා මේ ටිකේ අබරං ගෙදර හිටියේ තනියම. කලින් දවසේ ගෙදර උන්දැගේ මල්ලි එහෙම නැත්නම් අබරංගේ මස්සිනා ගෙදර ආපු නිසා අබරංට පාළුවක් තිබුණේ නෑ. මොකද මස්සිනා සේතං කතාබහට බොහොම දක්ෂ මිනිහෙක්. ඒත් ඊයේ හවස ආපු මහන්සියටද කොහෙද වැඩි කතාබහක් නැතුවම රෑට පොල්සම්බෝලයි,පරිප්පුයි එක්ක සුදුහාලේ බත් පංගුවක්ම දෙසාබාපු සේතං කලින්ම නිදාගත්තා. ඒ විතරක් නෙවෙයි තාම උදේට නැගිටලත් නෑ.

   ඉස්තෝප්පුවට වෙලා අබරං කෝපි කෝප්පේ අහවර කරනකොට වටින් ගොඩින් එළිය වෙන්න ගත්තා. ගෙදරට දාර විස්සක් තිහක් විතර එහායින් තිබුණ වැටට ඔබ්බෙන් තිබුණේ මහපාර. උදේ ඉදන්ම මහපාරේ එක එක වාහන එහෙට මෙහෙට යනවා අබරං පුරුදු විදියටම බලං හිටියා. ටිකකින් මහා සද්දකරගෙන වාහන ගණනාවක් අබරංගේ ගේ ඉස්සරහ ඇවිත් නතර කරා..දඩ බඩ ගාල පොලීසියේ බර ගාණක් ආයුධත් අරගෙන ඒ වාහන වලින් බැහැලා අබරංගේ ගේ ඉස්සරහ බැරියර් දාන්න පටන් ගත්තා. අබරං ඇස් දෙක නලලේ තියාගෙන මේක බලන් හිටියා.


“මේ මොන ගිනි ගෙඩියක් පාත් වෙන්න යනවද යකෝ..“

පොලීසිය බැරියර් වලට පිටි පස්සේ අවි ආයුධ මානගෙන ඉන්නවා අබරංගේ ගේ පැත්තට. කෝකටත් කියලා අබරං හනිකට ඉස්තෝප්පු කණුවට මුවා වුණා..මෙන්න තව විනාඩි ගාණකින් පොලීසිය කැරලි මර්ධනෙත් එක්කගෙන ඇවිත් බලකායක්ම. කළු පාට ඇඳගෙන ආරක්ෂක උපාංග තියාගෙන සීරුවෙන් ඉන්නවා අණක් ලැබෙනකන්..ඒ අතරේ ශබ්ද විකාශනය යන්ත්‍රයක සද්දෙත් ඇහෙන්න පටන් ගත්තා..

“කරුණාකර අප මේ වටලා සිටින නිවසේ ඉන්න දරුණු අපරාධකරු හෝ අපරාධකරුවන් වහාම එලියට එන්න..ඇවිත් අත්දෙක ඔසවාගෙන සාමකාමීව පැමිණ මිදුල මැද දණගසාගන්න..පොලීස් විශේෂ අංශ ගණනාවක් දැන් මේ නිවස වටලා ඇත..හැකි ඉක්මණින් ක්‍රියාත්මක වන්න..නැවතත් එම නිවේදනය..කරුණාකර......“

අබරංගේ ඉහ මොළ රත්වුණා..මොන මගුලක්ද යකෝ..මේ ගෙදර කව්ද ඉන්න අපරාධකාරයෝ..පොලිසියට මෝංගල්ද..අබරංගේ ඇඟ දාඩිය දාලා ගැහෙන්න ගත්තා.තියන ආයුධ කන්දරාව දැක්කම අබරංට මුත්‍රා බරකුත් අහේතුකවම පහල වුණා..ඒ අතරේ ගෙදර දොර පැත්තෙන් ෂූ ෂූ සද්දයක් ආවා..බලනකොට අබරංගේ මස්සිනා සේතං.ගෙදර දොරට මුවා වෙලා අබරංට කතා කරනවා ඇතුලට..අබරං බයෙන් බයෙන් වුණත් අඩියට දෙකට ඇතුලට රිංගන්න හදනකොටම වෙඩි වරුසාවක් ඉස්තෝප්පුවට එල්ල වුණා..තුවක්කු ගණනාවක් ම ඩොං පටොං ගාලා පත්තු වෙන්න ගත්තා...

“බුදු අම්මෝ..මෙන්න මුං නිරපරාදේ අහිංසක අපිව මරණෝ..“
කියලා කෑ ගහගෙන ගේ ඇතුලට පැන්නා.

සේතං අබරං ඇතුල්වුණ ගමන් දොර වැහුවා..දැන් අබරං දියෙන් ගොඩදාපු මාළුවා වගේ ගැහෙනවා..අබරං ඉණ ඉහ අතගාලා බැලුවා තමන්ගේ අවයව තියනවද කියලා..සේතනුත් දැන්නම් හොඳටම වෙවුලනවා..

“බුදු මස්සිනේ මොකක්ද මේ වෙන්න යන වින්නැහිය..අපේ ගේ වටේට පොලෝසියේ සේනාවක්ම වටකරලා..වෙඩිත් තියනවා යකෝ..මොකක්ද බං මේ වෙන්න යන්නේ..“

අබරං මර විලාප තිබ්බා..සේතං කටට දබරඟිල්ල තියලා නිශ්ශබ්ද වෙන්න කියලා සංඥා කලා. අබරං කට වහගත්තා.

“මමත් දන්නෑ බං අයියේ..මමත් ලව්ස්පීකරේ සද්දෙට තමයි කාමරෙන් එලියට ආවේ..“

දැන් අබරං සේතං දෙන්නා තරගෙට හුස්ම අදිනවා. දෙන්නම හොඳට බයවෙලා.

“මුං කියනවා අපරාධකාරයෝ ඉන්නවලු අපේ ගෙදර..වහාම එලියට එන්නලු..කව්ද බං මෙහේ අපරාධකරේ..මම හතර පෝයට සිල් ගන්න අහිංසක මිනිහා..“

“ඒක තමයි බං අයියේ..“

“මස්සිනේ..මට ඇත්ත කියපං..උඹවත් මොකුත් දරුණු අපරාධයක් කරලද මෙහේට පැන්නේ..“

මස්සිනා සේතං ඇස්දෙක ලොකු කරගෙන අබරංගේ නලලේ අත තියලා දිවුරුවා.

“පිස්සුද බං අයියේ..මට පුළුවන්ද එච්චර දෙයක් කරන්න..මුන්ට වැරදිලා බං අයියේ..“

දෙන්නම ටිකක් වෙලා කල්පනා කලා.ඒ අතරේ පොලීසිය ආයෙත් යකඩ කට අවදි කලා.

“විනාඩි පහක් ඇතුලත මේ නිවසේ රැඳී ඉන්න අපරාධකරු හෝ අපරාධකරුවන් එලියට නොපැමිණියහොත් අපිට ප්‍රහාර එල්ල කරලා අත්අඩංගුවට ගන්න වෙනවා..නැත්නම් වහාම දැන් අත් ඔසවාගෙන එලියට එන්න..“

ඒකට අබරං තවත් බයවුණා. අබරං ටිකක් සන්සුන් වෙන්න උත්සහ කලා.

“බං මස්සිනේ..මෙහෙම හිටියොත් නිකං වෙඩි කාලා මැරෙන්න වෙන්නේ.අපි වරදක් කොරලා නෑනේ..අපි යමං එලියට අත් උස්සගෙන..“

“ඒත් බං අයියේ මුං අපිට වෙඩි තිව්වොත්..“

“නෑ බං..මුං කිව්වනේ එහෙම එන්න කියලා..අපි යමං“

අන්තිමට දෙන්නා ගෙයින් එලියට එන්න දොරෙන් ඔළුව එලියට දානකොටත් පොලීසියේ වීර වික්‍රමාන්විත සෙබළු දණගාගෙන හෙමින් හෙමින් ගේ පැත්තට ඇදෙනවා..අබරං මුලින්ම අත් උස්සගෙන එලියට ආවා, සේතං පස්සෙන් ආවා..දෙන්නම ඇවිත් අඬ අඬ මිදුල මැද දණගහගෙන අත් උස්ස ගත්තා..එතකොටම බඩගාගෙන ආපු පොලීසියේ අය පෙරළිලා, දඟලලා දෙන්නව බිම පෙරලගෙන මාංචු දාලා අත් අඩංගුවට ගත්තා..පොලීසියේ සේනාව පැත්තෙන් මහා ජය ඝෝෂාවක් ඇහෙන්න ගත්තා..

  පොලීසිය දෙන්නව බලුකුක්කෝ දෙන්නෙක් කුදලගෙන යනවා වගේ ඇදගෙන ගියා පාර පැත්තට.වාහන සිය ගණනක් එතන..ගමේ මිනිස්සුත් ගෙවල් වලින් එලියට ඇවිත් සිද්ධිය බලාගෙන ඉන්නවා...ඒ අතරේ මාධ්‍යවේදියෝ බර ගාණක් ඇවිත් එතන ඉඳගෙන සජීවී විස්තර දෙනවා, පොලීසියේ ලොක්කන්ගෙන් ප්‍රකාශ ගන්නවා එක කෙලියයි..අබරංටයි සේතංටයි මේවා නිකං හීනයක් වගේ..දෙන්නම අඬ අඬා ඉස්සරහට ගියා.

“අනේ බුදු සර්..ඇයි අපිව මේ කුදලගෙන යන්නේ..අපි මොකාට වරදක් කරාටද..“

පොලීසියෝ ලොක්කා ඉස්සරහා අබරං දණගහලා වැටිලා කිව්වා. පොලීසියේ ලොක්කා ආඩම්බරයෙන් බැලුවා..

“උඹලා ගාව ආයුධ එහෙම තියද..කව්ද දැන් මෙතනින් ආයුධ පෙන්නන් ඉස්සෙල්ලම යන්නේ..?“

ලොක්කා එහෙම ඇහුවම සේතංගේ ඇස් උඩ ගියා වෙන්න යන දේ මතක් වෙලා.මොකද අබරංට වඩා සේතං පත්තර ටීවී එහෙම බලන මිනිහා නිසා.

“අනේ බුදු සර්..ආයුධ පෙන්නන්නනම් යන්න බෑ....ආයුධ ඇත්තෙත් නෑ සර්..ගෙදර හරියටම තියෙන්නේ උදැල්ලයි,මන්නෙයි වගේ ආයුධ තමයි..අනේ බුදු සර් අපි කුරා කූඹියෙක්ටත් වරදක් කරලා නෑ..“

පොලිස් ලොක්කා ඉස්සරහා දෙන්නා දණගහගෙන වැටෙද්දි මාධ්‍ය එතන වටකරගෙන හිටියා. පොලිස් ලොක්කා ටිකක් සැකෙන් වගේ බැලුවා.

“එතකොට උඹලා අපරාධ කාරයෝ නෙවෙයි..“

“අනේ නෑ බුදු සර්...“

“සාජන් අල්විස්..මෙහෙ එනවා..“

ලොක්කා තවත් නිලධාරියෙක්ට කතා කලා. අල්විස් ලිපි ගොනුවකුත් අරගෙන ඇවිත් ලොක්කට දුන්නා. ලොක්කා ඒකේ පිටු පෙරලගෙන ගියා.

“ආ..මේ තියෙන්නේ තමුසේ කරපු අපරාදේ...මෙතනින් කව්ද සේතං “

“අනේ මමයි සේතං බුදු සර්...“

සේතං වැඳවැටිලා කිව්වා. ලොක්කා ඇස්දෙක රතුකරගෙන බැලුවා.

“තමුසේ වල් බල්ලා..අපරාධ කරලා දැන් නෑත් කියනවා..තමුසේ නෙවෙයිද ඊයේ හවස හරියටම හතරට ටවුමේ සිසිර සුපර් මාකට් එකෙන් සබන් කැටයක් හොරකං කරේ..

ලොක්කා සේතංගේ බෙල්ලෙං අල්ලලා අඩියක් විතර ඉස්සුවා. සේතංට උත්තරයක් දෙන්නත් බැරිවෙන්න බෙල්ල හිරවුණා.

“අනේ බුදු සර්..මම හොරකං කරේ නෑ..ඒ කඩේ උදවිය මට වැඩියෙන් සබන් කැටයක් වැරදිලා දාලා තිබුණා..මමත් දැක්කේ මෙහේට ආවම..අනේ සර් මම කරපු වැරැද්දක් නෙවෙයි ඒක...මේ ඇත්තමයි බුදු සර්..“

පොලිස් ලොක්කට තවත් තදවුණා. තවත් තදකරලා ඇල්ලුවා සේතංගේ බෙල්ලෙන්.

“බොරු කියන්න එපා කාලකණ්ණියෝ..“

මේක අහං හිටපු අබරංටනම් ඒ වෙලාවේ ටිකක් තරහා ගියා. මොකද අබරං සාධාරණ මිනිහා නිසා. තමන් වරදක් කරලත් නෑ, තමන්ගේ මස්සිනත් වරදක් කරලා නෑ කියලා අබරංට තේරුණා..

“මේ සර්..සබන් කැටයක් හොරකං කරපු එකටද මේ අපි අපරාධ කාරයෝ කියලා කුදලගෙන යන්න හදන්නේ..මේ රටේ ලොකු ලොකු අපරාධ කරපු එවුන් මහ පාරේ බල්ටි ගහනවා..මිනිස්සුන්ගේ කරේ යනවා..ඡන්දෙත් ඉල්ලනවා..සබන් කැටයක් හොරකම් කරා කියලා නොකරපු වැරැද්දකට සර්ලා අපිව කුදලගෙන යන්න හදනවා...මේක අසාධාරණයි සර්...මේක ප්‍රජාතන්ත්‍ර විරෝධියි..“

චටාස්...ගාලා කණේ පාරක් වැදුණා අබරංට පොලිස් ලොක්කගෙන්. 

“දාපන් මුන් දෙන්නම ජීප් එකට..“

දෙන්නා දාගත්තු පොලිස් සේනාවේ වාහන සේරම ජයග්‍රාහී ලීලාවෙන් නගරය දිහාවට යන්න පටන් ගත්තා.




19 comments:

  1. පොලිස් ජීප් එකේ දාගෙන යන්න ඇත්තේ ආශ්චර්යට වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. නෑ මිත්‍රයා..ආශ්චර්යයට යන්නනම් ලොකු කැබිනට් එකක් ඕන

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. දැන් රටේ ඇත්ත තත්වේ මේක තමා.අම්මපා ලංකාවට නෑවිත්ම ඉන්න හිතෙන්නෙ දැන්නම්.

    ReplyDelete
    Replies
    1. මඩ වලට බැහැලා ඕන සුද්ද කරන්න මිත්‍රයා..

      Delete
  4. හනේ අනේ පොලොස් අප්පුලා ගැනනම් කතාකරන්න එපා....ලොකු උන්ට සැලුට් පොඩි උන්ට පාට්..... මාත් ලිව්වා ඔය වර්ගෙ අය ගැන ගිහින්ම බලන්නකො
    http://malmallk.blogspot.com/2014/01/9.html#.UuD65rThXIU

    ReplyDelete
    Replies
    1. ලෝකේ රටවල් බොහොමයක් පොලීසි තිබුණේ මේ වගේ තත්වෙක.නමුත් සමහර රටවල් එය නිවැරදි කරගෙන තිබෙනවා. නමුත් ලංකාව තාම එයට උත්සහ කරන ආකාරයක් පෙනෙන්න නෑ. රජයේ නිල දාමරිකයන්ගේ භූමිකාව රඟ දක්වනවා පමණයි.

      Delete
  5. මේ මොන රටක සිද්ධියක්ද බං අපිට අහලවත් පුරුදු නෑ මේවා.. විලිලැජ්ජයි මේ වගේ සීන්කෝන්

    ReplyDelete
    Replies
    1. මේක වෙනත් රටක වෙනත් මිනිසුන් පිරිසකට වෙනත් පොලිසියකින් වෙච්ච දෙයක්..ඒක නිසා ගණන් ගන්න එපා..

      Delete
  6. මෙහෙම වෙයි 2020 විතර වෙනකොට.. හැම පැත්තෙන්ම බැට කන්නේ පොඩි මිනිහා.. ලොකු වුන් මිනියක් මරලා ආවත් වුන්ගේ පලිගු මාලිගා ඇතුලට වෙලා සැප විදිනවා.

    ReplyDelete
    Replies
    1. 2020 වෙනකන් ඉන්න දෙයක් නෑ සහෝදරී..මේක දැනටත් වෙන දෙයක්නේ

      Delete
  7. මේ වගේ ඔපරේෂන් වලට අපේ පොලෝසිය ළෝකප්‍රසිද්ධයි.. මිනීමරුවන්ට කුඩුකාරයන්ට සැලූට් ගහන්න, කඩේ යන්නත් ඒ වගේම දස්සයි..

    ReplyDelete
    Replies
    1. හොඳ හොඳ කතා තියෙනවනේ මේ වගේ ඔපරේෂන්ස් ගැන..මිනිමරුවෝ කුඩුකාරයෝ බලය ඇති අයනම් නිසැකවම සැලියුට් තමයි

      Delete
  8. යකෝ!!! ඒකනේ යකෝ ප්‍රජාතන්තේ!!!!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි චිකාගෝ ප්‍රජාතන්ත්‍රවාදය

      Delete
  9. කෝමද පොලිසියේ දක්ශකම.. පොඩි අපරාදයක්වත් වෙන්න දෙන්නේ නෑ.. ගානට ලෙසට වැඩ.. ආඩම්බරයි නේ..

    ReplyDelete
    Replies
    1. ආඩම්බරයි ආඩම්බරයි බං..ඒ ආඩම්බරකාරකම දරාගන්න බැරුව දුක් විඳිනවා

      Delete
  10. දැන් අර මද්යප්‍රකසක තුමා කියවි හරි ආඩම්බරෙන් විස්තරෙ

    ReplyDelete
  11. හැබෑම නිර්භීටැහැ පොලිසියක්නේ ..අබරන්ගේ තරාතිරම නොබලාම දඬුවම් කලානේ අම්මපා

    ReplyDelete